සංජය ලීලා බන්සායි සහ දීපිකා පදුකෝන්ට මරණ තර්ජන ගෙන ආ පද්මාවතී




2017 නොවම්බර් 17 බොලිවුඩ් සිනමාවේ තවත් නවතම චිත්‍රපටයක මංගල දර්ශනය සදහා සිනමා ශාලා සුදානම් විය.සිනමා ශාලා හිමියෝ ඉතා විශ්වාසයෙන් තම ආදායම් පිළිබද බලාපොරොත්තු තබා ගත්තේ, එම චිත්‍රපටය සංජය ලීලා බන්සායිගේ චිත්‍රපටයක් නිසාය.ඔහුගේ පෙර චිත්‍රපට සියල්ල ආදායම් වාර්තා තැබූ ඒවා නිසා මෙවර ද ඒ පිළිබද සැකයක් ඇති වූයේ නැත.එහෙත් සිදුවූයේ නොසිතූ දෙයකි.පද්මාවතී නවතම චිත්‍රපටය සදහා සතර දිගින් විරෝධතා එල්ල වන්නට විය.අධ්‍යක්ෂවරයාට මෙන්ම ප්‍රධාන චරිතය රගපෑ දීපිකා පදුකෝන්ට මරණීය තර්ජන එල්ල වූ අතර විරෝධතාකරුවන් ප්‍රචාරක පුවරු කඩා දමන්නටත්, පොස්ටර් ගිනි බත් කරන්නටත් සිනමාහල්වලට අලාභහානි කිරීමටත් පටන් ගත්හ.ප්‍රධාන නළු චරිතය රගපෑ රන්වීර් සිං ට ද තර්ජන එල්ල වන්නට විය.මේ හේතූන් මත චිත්‍රපට ප්‍රදර්ශනය දෙසැම්බර් 01 දා දක්වා කල් ගියේය.එදින පැවති විරෝධතා හේතුවෙන් මේවන විට චිත්‍රපට ප්‍රදර්ශනය දින නියමයක් නැතිව කල් දමා ඇත.මේ අතර චිත්‍රපටය තහනම් කරන ලෙස ඉල්ලා ඉන්දීය ශ්‍රේ්‍ඨාධිකරණයෙන් කළ ඉල්ලීම් තුනක් ප්‍රතික්ෂේප වී තිබේ.අවසානයේදී ශ්‍රේෂ්ඨාධීකරණය තීරණය කළේ, මේ පිළිබද තීරණය ගැනීමේ අයිතිය ඉන්දීය රැගුම් පාලක මණ්ඩලය ගත හැකි බවට දැන්වීමයි.


පද්මාවතී චිත්‍රපටය ලොව පුරාම කතාබහට ලක් වීම ආරම්භවන්නේ එහි රෑගත කිරීම් ආරම්භවීමත් සමගය.ශ්‍රී රාජ්පුත් කර්ණි සේනා සංවිධානයේ මූලිකත්වයෙන් මෙම විරෝධතා එල්ලවන්නට විය.2017 ජනවාරී මාසයේ දී චිත්‍රපටයේ රෑගත කිරීම් සිදු කෙරුණු ජායිපූර්හි ජායිලාර් බල කොටුවට ද මෙම රාජ්පුත් කර්ණී සේනා සංවිධානය කඩා වැදී අධ්‍යක්ෂ බන්සාලී ඉතිහාසය විකෘති කරන බව පවසමින් විරෝධතා දැක්වූහ.2017 මාර්තු 15 වැනිදා කොල්හාපූර්හි ඉදිකොට තිබූ පද්මාවතී චිත්‍රපට පසුතලය කිසියම් පිරිසක් විසින් ගිනි තබා විනාශ කර තිබුණි.එහිදී නළුනිළියන් සදහා සුදානම් කර තිබූ ඇදුම් හා ආභරණ ද ගින්නේන් විනාශ වූ බව වාර්තා වේ.මෙලෙසම 2017 මාර්තු 16 චිතෝර්ගාර් බල කොටුවට කඩා පැන රාණී පද්මිණිගේ මාළිගයේ තිබූ බඩු භාණ්ඩ විනාශ කළ බවද වාර්තා වේ.


දිගින් දිගටම චිත්‍රපටය සදහා විරෝධතා එල්ල වූ අතර ප්‍රධාන නිළිය වූ දීපිකි පදුකෝන්ට එල්ල වන්නා වූ දැඩි තර්ජන හේතුවෙන් ඇයට හා ඇගේ පවුලේ අයට ආරක්ෂාව ලබා දෙන ලෙස රජයෙන්ඉල්ලීමක් කිරීමට ද සිදුවිය.දේශපාලකයන් ද මෙම විරෝධතාවයට එක්වෙමින් සිටින අතර ඔවුන් විවිධ ප්‍රකාශ කරමින් ජනතාව තවදුරටත් අවුල් කරමින් සිටින බව වර්තමානයේ පෙනී යයි.මේ අතර භාරතීය ජනතා පක්ෂ, පාලනය යටතේ ඇති රාජස්ථාන්,උත්තර ප්‍රදේශ් ,හා හර්යානා ප්‍රාන්තවල මෙම චිත්‍රපටය ප්‍රදර්ශනය තහනම් කර තිබේ.මහාරාෂ්ට ප්‍රාන්තය ද තම ප්‍රදේශයේ ද මෙම චිත්‍රපටය තහනම් කරන ලෙස ඉල්ලා සිටින බව වාර්ත වේ.මෙම පද්මාවතී චිත්‍රපටය සදහා විරෝධතාවලට සම්බන්ධ කිහිප දෙනෙක් මේවන විට අත්අඩංගුවට ගෙන ඇත.කෙසේ වෙතත් තවමත් ඉන්දීය රජය මේ පිළිබද දැඩි ලෙස තම අවධානය යොමු කොට නොමැත.


මේ අතර වීඩියෝ පණිවිඩයක් නිකුත් කරමින්, සංජය ලීලා බන්සාලී ප්‍රකාශ කරන්නේ ,අපි මේ චිත්‍රපටය කළේ වගකීමක් ඇතිව ,මෙම චිත්‍රපටයේ කිසිම තැනක හින්දු රැජිනත් මුස්ලිම් පාලකයත් අතර ප්‍රේම සම්බන්ධයක් නිරෑපණය නොකරන බව වගකීමෙන් යුතුව ප්‍රකාශ කරනවා.ඒ වගේම රාජ්පුත්වරුන්ගේ අභිමානයටත් ගෞරවයටත් කිසිදු හානියක් නොකරන බවත් සහතික වෙනවා.කිසියම් ජාතියකට හෝ ආගමකට පුද්ගල චරිතයකට මෙයින් හානියක් නොකරන බවත් අපි සහතික වෙනවා.මෙලෙස ප්‍රකාශ කරන අධ්‍යක්ෂ බන්සාලි පසුගිය දෙසැම්බර් 01 වැනි දා පද්මාවතී චිත්‍රපටය පිළිබදව ඉන්දීය පාර්ලිමේන්තුවට කරුණු ඉදිරිපත් කරන ලදි.මෙම චිත්‍රපටය මලික් මහම්මද් ජයසි කවියාගේ ප්‍රබන්ධයකට අනුව නිර්මාණය කළ බවත් කිසිසේත්ම ඉතිහාසය විකෘති කිරීමක් සිදුනොවන බවත් ඔහු එහි දී කියා සිටියේය.


පද්මාවතී චිත්‍රපටය සදහා පාදකවන කතා පුවත් වන්නේ 14 වන සියවසට අයත් ඉන්දීය පුරාවෘත්තයකි.පද්මාවතී යනු අතිශය සුරෑපී යුධ ශිල්පයෙහි දක්ෂ කුමාරිකාවක් වන අතර ඇයගේ ස්යංවර මංගල්‍යයේ දී ඇය සමග සටන් කර දිනන කෙනො සමග තමන් විවාහවන බව කියයි.ඒ අනුව ඇය සමග සටන් කර ජය ගන්නා රාණා රත්න් සිං සමග ඇය විවාහ වෙයි.මේ කාලයේ දිල්ලියේ පාලකයා වූ අලව්ද්දීන් කල්ජි නම් පාලකයා පද්මාවතීගේ රෑප ශ්‍රීය පිළිබද අසා ඇය ලබා ගැනීමේ අරමුණින් රාණා රත්න සිං ට විරුද්ධව කුමන්ත්‍රණයක් දියත් කොට ඔහු මරා දමයි.මෙම මුස්ලම් රජු තමන් කෙරෙහි ආශාවෙන් පසුවන බව දැන ගන්නා පද්මාවතී තම සැමියාගේ දැවෙන සෑයට පැන සිය දිවිනසා ගනී.මෙම සති පූජාව නිසා අදටත් රාජ්පුත් වාංශිකයෝ පද්මාවතී රැජිණට ගෞරව කරති.


ඉන්දීය ඉතිහාසඥයෝ පැහැදිලිවම පවසන දෙයක් නම්,පද්මාවතී වීර කාව්‍යයෙන් පැවසෙන කතාව පිළිබද කිසිදු සත්‍යතාවයක් නොමැති බවයි.ඉන්දියාවේ හින්දු ජාතිවාදීන් බොරුවට කලබල වී ඇති බවත් ඔවුන් පෙන්වා දෙති.පද්මාවතී චරිතය පදනම් කරගෙන මීට පෙරත් චිත්‍රපට කිහිපයක් නිර්මාණය වී ඇත.1964 හින්දි බසින් නිර්මාණය වූ මහාරාණි පද්මිණි ,1963 දී චිතෝර් රාණි පද්මිණි නමින් දෙමළ චිත්‍රපටයක් ද නිර්මාණය විය.


කෙසේ හෝ තව නොබෝ දිනකින් මේ සියළු විරෝධතාවයන් අවසන් වනු ඇත.එවිට සන්ජය ලීලා බන්සායිගේ පද්මාවතී චිත්‍රපටය ලොව පුරා අදායම් වාර්තා තබමින් ප්‍රදර්ශනය වීම නම් කිසිවකුට වලක්වනු නොහැකිවනු ඇත.මෙම විරෝධතාවයන් ඇතැම් විට චිත්‍රපටය සදහා ආශිර්වාදයක්වනු ඇත්තේය.





Comments

Leave your comment