අද්විතීය රංගන පෞර්ෂයකින් හෙබි ප්‍රතිභාන්විත රංගනවේදිනිය -අයිරාංගනී සේරසිංහ




අයිරාංගනී රොක්සානා මීදෙණිය, ඒ නමින් හැදින්වෙන්නේ කවුරුන්ද යන්න සමහර විට ඔබේ සිතට ගැටළුවක් ඇති කරනවා විය හැකිය.එසේ වුවත් අයිරාංගනී සේරසිංහ යැයි කියු පමණින් ඔබේ සිතට රේඛාව චිත්‍රපටයේ සිට ඩල්සි ආච්චි පමණක් නොව සුදු හාමිනේ ද මතකයට නැගෙන බව නිසැකය.ලාංකීය ඉංග්‍රීසි නාට්‍ය ඉතිහාසය පිලිබදව අධ්‍යයනය කළ අයෙකුට ,දේශිය ඉංග්‍රීසි නාට්‍ය කාලවේ දීප්තිමත්ම යුගයක පායා ඒ ප්‍රතිභාන්විත රංග පෞර්ෂය කිසිදා අමතක නොවේ.


1927 ජූනි මස 21 වන දින කෑගල්ලේ මුදුන්ගමුවේ, මීදෙණිය වලව්වේ දෙවන දියණිය ලෙස ඇය උපත ලැබුවාය.උඩරට රදල පවුලක බටහිර හා පෙරදිග සංස්කෘතීන්ගේ මනා සංකලනයෙන් වර්ධනය වු අයිරාංගනි දැරිය ප්‍රථමයෙන් පාසැල් අධ්‍යාපනය ආරම්භ කළේ කොළඹ සෙන් බ්‍රිජට් කන්‍යාරාමයෙනි.පසුව බිෂොප් විද්‍යාලයට යන ඇය උසස් අධ්‍යාපනය සදහා නැවතත් මහනුවර උසස් බාලිකාවට ඇතුළත් වේ.මහනුවර උසස් බාලිකාව ඇගේ රංග කෞෂල්‍ය සදහා ද අත් පොත් තැබූ ස්ථානය වන අතර පිග්මැලියන් නම් ඉංග්‍රීසි පාසැල් වේදිකා නට්‍ය සදහා ඇය රංගනයෙන් දායක වුවාය.ඇගේ රංගන නිපුණතාවය ඈ ද හදුනාගන්නේ මෙම පාසැල් නාට්‍ය තුළින් වීම විශේෂත්වයකි.


1947 දී ශ්‍රී ලංකා විශ්ව විද්‍යාල කොලීජියට ඇතුළත්වන අයිරාංගනි මීදෙණිය තරුණිය කලා උපාධිය හැදෑරීම ආරම්භ කරන්නේය.මෙම යුගය වන විට සිංහල නාට්‍ය කලාව පර්යේෂණාත්මක අත්හදා බැලීම් සමග පැවති යුගයක්වන අතර දේශීය වේදිකාව තුළ ඉංග්‍රීසි නාට්‍ය ආධිපත්‍යයක් තිබුණි.දේශීය ඉංග්‍රීසි නාට්‍ය ඉතිහාසය පිළිබදව කතා කරන විට ඒ තුළින් බිහි වූ විශිෂ්ටතම රංගනවේදිනියක් ලෙස ඇය තරම් විචාරක ප්‍රේක්ෂක ඇගයීමට කිසිවකු ලක් නොවේ .ද සෙකන්ඩ් මයික් ටැන්කර් හි (ටැන්කර් ආර්යාව) , හවුස් ඔෆ් බර්ඩා ඇල්බා හි( බර්නා ආර්යාව) ,මැක්බත් හි (මැක්බත් ආර්යාව),ද කෙකේෂියක් චෝක් සකල් හි (ගෲෂා),ද ලොවර් ඩෙප්ත් හි (නස්නියා) ඇගේ වේදිකා රංගනයේ ප්‍රතිභාව අපුර්ව ලෙස ඉදිරිපත් කළ අවස්ථාවන් බව එදත් අදත් විචාරකයෝ පවසති.


තම උපාධිය සම්පූර්ණ කරන අයිරාංගනී සේරසිංහ මහත්මිය ,තම වෘත්තීය ජීවිතය ආරම්භ කරන්නේ ගුරු වෘත්තියෙනි.කොළඹ මියුසියස් විද්‍යාලයේ ගුරුවරියක ලෙස සේවය කරන ඇය ටික කළකින් ඉන් ඉවත් වී Sunday Times පුවත්පතේ කාන්තා අතිරේකයෙහි සංස්කාරකවරිය ලෙස මාධ්‍ය ජීවිතයට පිවිසෙයි.අනතුරුව ඉන් ද ඉවත්ව යන සේරසිංහ මහත්මිය ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ ඉංග්‍රිසි නාට්‍ය අංශයට සම්බන්ධව වැඩ කළේය.


අනතුරුව වැඩි දුර අධ්‍යාපනය පිළිබද සිත යොමු කරන ඇය මහාචාර්ය ලුඩොවයික්ගේද සහය ඇතිව එංගලන්තය බලා පිටත්ව යන්නේ රංගනය පිළීබදව හැදෑරීම සදහාය.එංගලන්තයේ Bristol Oval chic Theater School හා Royal central school of speech and drama හි ඇය නාට්‍ය කලාව පිලිබද හදාරන්නීය.


අධ්‍යාපනයෙන් පසුව ලංකාවට එන ඇය නැවත් ඉංග්‍රීසි වේදිකා නාට්‍ය හා එක්වන්නේය.1953 දී ලයනල් වෙන්ඩ් කලාගාරය විවෘත කිරීම සදහා රංගගත කරන ලද ද ලොවර් ඩෙප්ත් නාට්‍යයේ ඇය නස්නියාගේ භූමිකාව නිරූපණය කළේය.


අයිරාංගනී සේරසිංහ මහත්මියගේ ප්‍රථම සිනමා රංගනය ලෙස්ටර් ජේම්ස් පීරිස්ගේ රේඛාව වුවත් ඇය ඊට පෙර පීරිස් මහතාගේම වාර්තා චිත්‍රපටයක්වන Be Face Be Sorry හි කාන්තා රියදුරුවරියකගේ චරිතයක් නිරූපනය කර තිබේ.රේඛාව (1950) ,සංදේශය (1960), දෙලොවක් අතර (1966), රන්සළු(1967), බක්මහදීගේ, සාගරයක් මැද ,දඩයම,වෑකන්දේ වලව්ව,ඉරුස්මා( 2000),මචං වැනි බොහෝ චිත්‍රපට සංඛ්‍යවකට තම රංගන කුසලතාවය එක් කරන සේරසිංහ මහත්මිය, ප්‍රථමයෙන්ම සිනමා රංගනයට එක්වන්නේ වයස අවුරුදු 25 දීය. .එහෙත් ඇගේ රංගන දිවියේ විශේෂත්වය වන්නේ මැදිවියේ කාන්තා චරිත රංගනයට ඉතාම තරුණ වියේ සිටම ඇයට සිදුවීමයි.ඇගේ ද්විභාෂා හැකියාව නිසාම විදේශ චිත්‍රපට කිහිපයකට ද රංගනයෙන් දායකවීමේ වරම ඇයට හිමිවෙයි. ඔබ දුටු දා චිත්‍රපටය වෙනුවෙන් හා අවරගිර චිත්‍රපටය වෙනුවෙන්ද හොදම නිළීයට හිමි සරසවි සම්මානය දිනා ගැනීමට ඇය සමත්වන්නීය.


වේදිකාව සිනමාව පමණක් නොව වර්තමානය වන විට අයිරාංගනී සේරසිංහ මහත්මිය ටෙලි නාට්‍ය කලාව තුළ ද රංගන ප්‍රතිභාව මනාව ඉදිරිපත් කරමින් සිටින්නේය.යශෝරාවයේ සුදු හාමිනේ ගෙන් ඇරඹි ඇගේ ටෙලි නාට්‍ය දිවිය තුළ දූදරුවෝ හී ඩල්සි ආච්චිගේ චරිතය සුවිශේෂි වන්නේය.ඇය සෑම අවස්ථාවකම මිත්තනියගේ චරිතය හෝ වැඩිහිටි කාන්තා චරිත රගපෑව ද ඒවා එකිනෙකට වෙනස් ලෙස නිරූපණය කිරීමට ඇය දක්ෂ වන්නීය. ඇගේ රංගන දිවිය පුරාම දක්නට ලැබෙන අනන්‍යතා ලක්ෂණයක් වන්නේ සමාන චරිත වුව ද වෙනස් ලෙස නිරූපණය කිරීමේ විශිෂ්ඨ කුසලතාවයයි.1993 සිට අඛණ්ඩව වසර තුනක් උණ්ඩා ටෙලි සම්මාන උළලේ දී ජනප්‍රියම නිළිය සම්මානය දිනා ගැනීමට ඇය සමත්වන්නීය.


2013 වසරේ දී ඇය තම ජීවිත කතාව ලියා තැබුවාය.එහි රචකයා වුයේ මාධ්‍යවේදී කුමාර ද සිල්වාය.ඔහු විසින් ඉංග්‍රීසි බසින් ලියන ලද Irangani As Told To Kumara De Silva යන කෘතියේ පර්වර්තනයක් ලෙස සිංහල කෘතිය සම්පාදනය වී තිබේ.ස්භාවිකත්වයට පරිසරයට අතිශය ලෙන්ගතු අයිරාංගනී සේරසිංහ මහත්මිය ආටෝපයෙන් තොරව සැබවින්ම පරිසර හිතකාමී අයෙකි. ඇගේ දීර්ඝ ජීවන ගමනේ රහස ද එයම විය හැකිය.90 විය සපුරා 91ක් වැනි වියට පා තබමින් සිටින අපේ ශ්‍රේෂ්ඨතම රංගනවේදිනියට ආයුබෝවේවා යැයි අපි ආශිර්වාද කරමු.



Comments

Leave your comment