මොරගහකන්ද ජලාශය අද(08) ජනතා අයිතියට




දශක හතරකට පසුව මෙරට ඉදිවූ විශාලතම බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය වන මොරගහකන්ද ජලාශ ව්‍යාපෘතිය අද (08) පෙරවරුවේ යෙදුණු සුබ මොහොතින් ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා අතින් ජාතියට දායාද කෙරිණි.රජ රට ගොවි ජනතාවගේ කෘෂිකර්ම සහ පානීය ජල ප‍්‍රශ්නය විසඳා එම ජනතාවගේ වසර ගණනාවක කදුළු කථාව නිමා කෙරෙන මොරගහකන්ද මහා වාරි ව්‍යාපෘතිය විසි එක්වන සියවසේ ශී‍්‍ර ලංකාවේ ඉදි වූ වාරි විස්මිතය ලෙස නිම කර තිබේ.2007 වසරේ ජනවාරි මස 25 වන දින වැඩ ආරම්භ කෙරුණු මෙම ව්‍යාපෘතිය විවිධ හේතූන් මත ප්‍රමාද වූ අතර පසුව ජනාධිපතිවරයාගේ පෞද්ගලික උනන්දුව හා කැපවීම මත යළි සංක්‍රිය කෙරුණි.


නකලස් නිම්නයේ සිට අඹන්ගඟ හරහා ගලා ගිය ජල කඳ හරස් කර මොරගහකන්ද ජලාශය ඉදිකර ඇති අතර මොරගහකන්ද යාබදින් ගලා බසින කළු ගඟ හරස්කර ඉදිවන නව ජලාශයේ ජලය ද මොරගහකන්දට එක්වනු ඇත. ජලාශයේ සම්පූර්ණ ජල ධාරිතාව අක්කර අඩි හය ලක්ෂ 60,000ක් වන අතර එය පරාක්‍රම සමුද්‍රයේ ජල ධාරිතාව මෙන් 06 ගුණයක් බව වාර්තා වේ.මෙම ව්‍යාපෘතිය යටතේ උතුරුමැද, වයඹ හා නැගෙනහිර පළාත්වල ලොකු කුඩා වැව් 2000කට අළුතින් දියවර සැපයෙයි.අක්කර ලක්ෂ 03ක් අළුතික් අස්වද්දා පුද්ගලයින් ලක්ෂ 15කට සෙත සලසන සහ පුද්ගලයින් ලක්ෂ 03කට පිරිසිදු පානීය ජලය සපයන මොරගහකන්ද කළු ගඟ බහුකාර්යය සංවර්ධන ව්‍යාපෘතිය මෑත යුගයේ ඉදිවූ සුවිශේෂි මෙන්ම විශාලතම ව්‍යාපෘතියක් වේ.මොරගහකන්ද - කළුගඟ සංවර්ධන ව්‍යාපෘතිය සඳහා වැය කළ මුදල ඇමරිකන් ඩොලර් 557.5 කි.මෙගා වොට් 25ක විදුලිබල ධාරිතාවක් ජාතික විදුලිබල පද්ධතියට එක්කරන විදුලිබලාගාරයේ කටයුතු ද මේ හා සමගාමීව ආරම්භ කෙරිණි.ශ්‍රී ලංකාවේ දැකිය හැකි ගල් පිරවූ ප්‍රධාන වෙල්ලක්, කොන්ක්‍රිට් කරන ලද වෙල්ලක් මෙන්ම පස්වලින් සෑදු යන වේමෙල්ලක් යන වෙලී තුනකින් යුත් එකම ජලාශය ද මොරගහකන්ද ජලාශයවීම විශේෂත්වයකි.


මොරගහකන්ද ප්‍රධාන වේල්ල මත සංවිධානය කර තිබූ උත්සව අවස්ථාවට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු මැති ඇමැතිවරු සහභාගී වූ අතර එහි ස්ථාපනය කර තිබූ විවෘත කිරීමේ ඵලකය විවෘත කිරීමෙන් අනතුරුව මොරගහකන්ද ජලාශයේ නිරීක්ෂණය ආරම්භ කළහ. පසුව මැති ඇමැතිවරු පිරිවරා ගත් ජනාධිපතිවරයා මොරගහකන්ද වේල්ල මත සවිකොට තිබූ ස්වයංක්‍රීය ස්විචයකින් එහි වාන් දොරටු පහ විවෘත කරනු ලැබීය.පසුව පැමිණ සිටි සියලු දෙනා මංගල දිය වරට මල් ඉසීම සිදු කරනු ලැබූහ. ගුවන් මගින් ද මල් ඉසීම මෙහිදී විශේෂත්වයක් විය.මොරගහකන්ද ජලාශයේ ඉදිකිරීම් සිදුකරනු ලැබූ චීන සමාගම විසින් ශ්‍රී ලංකා මහවැලි අධිකාරියට ජලාශයේ වැඩ නිමවා භාර දීම මෙහි ප්‍රධාන අරමුණ වී තිබිණි.


මොරගහකන්ද – කළුගඟ ව්‍යාපෘතිය යටතේ උතුරුමැද, වයඹ හා නැගෙනහිර පළාත්වල ලොකු කුඩා වැවි 2000 කට අලුත් දියවර සැපයේ. ඒ අනුව වයඹ පළාතේ වැව් 303කට සහ උතුරුමැද පළාතේ වැව් 1600 කට ජලය සැපයෙන අතර නව ලග්ගල හා මැදිරිගිරිය ප‍්‍රදේශයේ ඉදිකරන නව නගරය හා නව ජනපදවල අලුත් වැව් 48 ක් ඉදිකරනු ලැබේ.ව්‍යාපෘතිය හේතුවෙන් නාඋල හා ලග්ගල ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල අවතැන්වන පවුල් 3500 ක් පමණ මේ වන විට නැවත පදිංචිකිරීම් සිදුකරමින් පවතින අතර, දේපළ අහිමිවීම් සඳහා වන්දි මුදල් ලබාදීම සිදුකරමින් පවතී. ජලාශයෙන් අපේක්ෂිත මිරිදිය මත්ස්‍ය නිෂ්පාදන ධාරිතාව වාර්ෂිකව ටොන් තුන් දහසක් වන අතර එමඟින් අපේක්ෂිත වාර්ෂික ආදායම රුපියල් මිලියන 225කි.


මොරගහකන්ද ජලාශය ආශ්‍රිතව වාර්ෂිකව ඇදහැළෙන වර්ෂාපතනය ඝන මීටර් මිලියන 818 ක් වන අතර එම මහා ජල කඳ මුහුදට ගලායෑම වළකා ජලාශයේ රඳවා ගැනීම හේතුවෙන් මනම්පිටිය හා සෝමාවතිය ප‍්‍රදේශවලට වාර්ෂිකව ඇතිවන ගංවතුර තත්ත්වය අවම කිරීමට ද මෙම ව්‍යාපෘතිය තුළින් හැකියාව ලැබේ. පළාත් තුනක වෙසෙන දහස් ගණනක් ගොවි පවුල් සඳහා සෘජු ආර්ථික වටිනාකමක් සැලසෙන මොරගහකන්ද කළුගඟ වාරි ව්‍යාපෘතිය තුළින් මුළුමහත් ජාතියටම හිමිවන ප‍්‍රතිලාභය අති මහත්ය.


මේ අතර මහවැලි පංච මහා ජලාශයන්ට අයත් අවසන් ජලාශය වන මොරගහකන්ද ජලාශ ව්‍යපෘතිය ජනතා අයිතියට පත් කිරීමත් සමඟ මීට දශක 04කට පෙර අද වැනි දිනක පොල්ගොල්ලෙන් ඇරඹි මහවැලි සංවර්ධන ව්‍යාපාරයේ සමාප්තිය ද සනිටුහන් කෙරෙයි.එහි සමාප්ති උත්සවයේ සැමරුම් උත්සවය “සාලිස් වසරක මහවැලි අසිරිය” ජාතික මහෝත්සවය ද ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පොල්ගොල්ල ජලාශය අසලදී පැවත්විණී


මොරගහකන්ද – කළුගඟ ව්‍යාපෘතිය සම්පූර්ණයෙන් නිමවීමත් සමග මෙරට ගොවි සංස්කෘතියේ සුවිශේෂී පරිවර්තනයක් ඇතිවනවා සේම ජාතික ආර්ථිකයට ප‍්‍රබල ශක්තියක් සැපයෙන බව ජනාධිපතිතුමා පවසයි. අද ජනතා අයිතියට පැවරුණු මොරගහකන්ද ජලාශය මෙරට කීර්තිමත් ඉංජිනේරුවෙකු වූ ඒ.එන්.එස්. කුලසිංහ මහතා නමින් නම් කිරීමට ද ජනාධිපතිතුමා යෝජනා කරනු ලැබීය. ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා මේ බව සඳහන් කළේ අද (08) පස්වරුවේ පොල්ගොල්ල වේල්ල අසළ පැවති ,සාළිස් වසරක මහවැලි අසිරිය, ජාතික මහෝත්සවය අමතමිනි.


මෙහිදී තවදුරටත් අදහස් දැක්වූ ජනාධිපතිතුමා,ලෝකයේ ඉතාමත් සම්භාවනීය ඉතිහාසයකට හිමිකම් කියන ශ‍්‍රී ලංකාවේ වාරි සභ්‍යත්වය තුළ මහවැලි සංවර්ධන ව්‍යාපාරය ජාතියේ ප‍්‍රණාමයට ලක්වූ සුවිශේෂි ව්‍යාපෘතියක් ලෙස හැඳින්විය හැකිය. හැටේ දශකයේ අවසාන භාගයේ ආරම්භ වූ මෙම ව්‍යාපාරය රටපුරා පැතිරුණු මහා පරිමාණ සංවර්ධන වැඩපිළිවෙළක් කි‍්‍රයාත්මක කරමින් ජාතික ආර්ථිකයේ නවෝදය උදෙසා මහඟු මෙහෙවරක් ජාතියට දායාද කළේය.මොරගහකන්ද – කළුගඟ ව්‍යාපෘතිය තුළින් මෙරට කෘෂිකර්මයේ නවෝදයක් ඇතිවනවා සේම ධීවර, කර්මාන්ත, පානීය ජලය වැනි අංශ ගණනාවක පුළුල් සංවර්ධනයක් ඇතිකෙරෙන බව ජනාධිපතිතුමා මෙහිදී සඳහන් කළේය.


එමෙන්ම ජනතාවට පිරිසිදු පානීය ජලය ලැබීම තුළින් රජරට ජනතාව ගොදුරුව සිටින වකුගඩු රෝගයට විසඳුම් හිමිවනු ඇති බවද ජනාධිපතිතුමා සඳහන් කළේය. මීට වසර 05කට පෙර ව්‍යාපෘතියේ වැඩ අවසන්වීමට නියමිතව තිබුණ ද දේශපාලන සංස්කෘතියේ අවභාවිතයත් සමග එය ප‍්‍රමාද වූ බව සඳහන් කළ ජනාධිපතිතුමා වත්මන් රජය යටතේ එය කඩිනම් කිරීමට හැකිවීම විශාල ජයග‍්‍රහණයක් බව ද කියා සිටියේය.සාළිස් වසරක මහවැලි අසිරිය ජාතික මහෝත්සවය නිමිත්තෙන් පැවති පාපැදි තරඟයේ ජයග‍්‍රාහකයින්ට තිළිණ ප‍්‍රධානය කෙරුණේ ද ජනාධිපතිතුමා අතිනි. ත්‍රෛනිකායික මහා සංඝරත්නය ඇතුළු අන්‍යාගමික පූජකතුමන්ලා ද, අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා ඇතුළු මැති ඇමතිවරු සහ දෙස් විදෙස් සම්භාවනීය ආරාධිතයින් රැුසක් මෙම උත්සවයට එක්ව සිටියහ.


ප්‍රවෘත්තිය උපුටා ගැනීම සහ ඡායාරූප ජනාධිපති මාධ්‍ය අංශයෙනි.


Comments

Leave your comment