2018 පළාත්පාලන ඡන්දයේ දී තේරීපත්වන සභිකයින් දෙගුණයකින් වැඩිවේ.


මෙය සැමට සාධාරණ යැයි අලුතින් සම්මත කරන ලද පළාත්පාලන මැතිවරණ ක්‍රමවේදය පිළිබද මේ රටේ මහජනතාව තුළ කිසියම්ම අවබෝධයක් නොමැත.එමෙන්ම කොතෙක් සාධාරණ වුවත් මෙහි පවතින ව්‍යාකූලත්වය තුළ මැතිවරණයන් පසු ඇතිවන අර්බුදකාරීත්වය පිළිබද දේශපාලන පක්ෂ පවා සැක මුසු බවකින් පසුවේ.කෙසේ වෙතත් මේ පිළිබද කිසිවකු නිශ්චිත අදහසක් පළ නොකරන අතර අනුමාන වශයෙන් දක්වන කරුණු මත පදනම්ව යම් යම් ප්‍රකාශ නිකුත් කරයි. එවැනි අදහස් සමග දැනුවත් කිරීමක් මෙම ලිපිය මගින් ගෙන හැර දක්වයි.


මැතිවරණ ඉතිහාසයට මෙවර පළාත්පාලන මැතිවරණ ක්‍රමය අලුත්ම අත්දැකීමක්වනු ඇත. මෙය මේ රටේ පැවැත්වෙන විශාලතම මැතිවරණ ක්‍රියාදාමය වෙයි.සභිකයින් 60% ක ප්‍රමාණයක් කොට්ඨාශ ක්‍රමය යටතේ ජනතා ඡන්දයෙන් තේරී පත් වීමත් 40% ක ප්‍රමාණයක් අනුපාත ලැයිස්තුවෙන් පත් කිරිමත් අලුත්ම ප්‍රවණතාවය ලෙස දැක්විය හැකිය. වර්ෂ 2017 අංක 16 දරණ පළාත්පාලන ආයතන ඡන්ද විමසීම් සංශෝධන පනත යටතේ මෙම ඡන්දය පැවැත්වීමේ ක්‍රමවේදය නීතිගත කර ඇත. ඒ අනුව පළාත්පාලන ඡන්ද විමසීමේ පළාත්පාලන බල ප්‍රදේශයක් වෙනුවට කොට්ඨාශ ක්‍රමය එළි දක්වා ඇත.නව ඡන්ද ක්‍රමය යටතේ නාමයෝජනා භාර ගැනීමේ අවසාන දිනය දෙසැම්බර් 14 වැනි දා වේ.ඒ අනුව මැතිවරණය ලබන වසරේ පෙබරවාරී මස 10 හෝ 17 දින පැවැත්වෙනු ඇතැයි අනුමාන කෙරේ.


මෙවර මැතිවරණයට අදාල තවත් විශේෂත්වයක් වන්නේ ඒ ඒ ඡන්ද මධ්‍යස්ථානවලම ඡන්දය ගණන් කර මූලික ප්‍රතිඵල නිකුත් කිරීමයි.මෙතෙක් පැවති සෑම ඡන්දයක දීම සිදු වුණේ ගණන් කිරිමේ මධ්‍යස්ථාවලට ඡන්ද පෙට්ටි ගෙන ඒමෙන් පසු ඡන්දය ගණන් කර අවසාන ප්‍රතිඵලය නිකුත් කිරීමයි. ඡන්දය පාවිච්චි කිරීම සම්බන්ධයෙන් ඡන්ද දායකයා නව ඡන්ද ක්‍රමය පිළිබද දැනුවත් විය යුතු කරුණු ගණනාවක් වේ.මෙවර පළාත්පාලන මැතිවරණයේ ඡන්ද පත්‍රිකාවේ සටහන්වන්නේ දේශපාලන පක්ෂවල නම් සහ ස්වාධීන කණ්ඩායම්වල අංක පමණි.විශේෂත්වය වන්නේ මෙවර අපේක්ෂකයාගේ නම ඡන්ද පත්‍රිකාවේ සදහන් නොවීමයි.කොට්ඨාශ ක්‍රමයට ඡන්දය පැවැත්වීමේ නව වැඩපිළීවෙළ යටතේ සිදුවන්නේ කොට්ඨාශ මට්ටමින් එක් පක්ෂයකින් එක් පුද්ගලයෙකු අපේක්ෂකයෙකු වශයෙන් ඉදිරිපත් වීමයි.එබැවින් දේශපාලන පක්ෂයේ නම ඉදිරි පිටින් කතිරය සලකුණු කළ විට එය අපේක්ෂකයාට ලබාදුන් ඡන්දයක් ලෙසට සලකනු ලැබීමයි.


ඡන්ද අපේක්ෂකයන්ගේ නම් ඡන්ද මධ්‍යස්ථානයෙන් බැහැරව ප්‍රදර්ශනය කරනු ලබන දැන්වීමට අනුව පුද්ගලයාට ඡන්දය පාවිච්චි කිරීමට කැමති ඡන්දදායකයින්ට, ඔහුගේ පක්ෂයට අකමැති වුව ද අපේක්ෂකයා වෙනුවෙන් ඔහු ඉදිරිපත්වන පක්ෂය ඉදිරියෙන් ඡන්දය පාවිච්චි කිරීමට සිදුවනු ඇත. මෙවර කළින් පැවති අඹගමුව හා නුවරඑළිය යන පළාත්පාලන කොට්ඨාස නැවත බෙදා වෙන් කිරීම නිසා පළාත්පාලන ආයතන සංඛ්‍යව 341 ක් දක්වා වැඩි වී ඇත.බහු ආසන ඇති ස්ථානවල සභිකයන් දෙදෙනෙක් හෝ තිදෙනෙක් හෝ පත්වීම මෙවර සිදුවන විශේෂත්වයකි. බහු ආසනවලදී කොපමණ අපේක්ෂකයන් සංඛ්‍යවක් ඉදිරිපත් වුව ද ඡන්දදායකයා ඒ ඒ පක්ෂයට ඡන්දය පාවිච්චි කරනු ලබන ප්‍රමාණයට අනුව සභිකයින් තිදෙනෙක් අනිවාර්යෙන්ම පත් වෙති.එනම් අනුපිළිවලින් ජයග්‍රහණය ලබන පක්ෂ ලබා ගත් ඡන්ද සංඛ්‍යවට අනුව සභිකයින් තේරී පත්වෙති.


කොට්ඨාසයට නාම යෝජනා ඉදිරිපත් කරන පක්ෂය හෝ ස්වාධින කණ්ඩායම ජයග්‍රහණය කළහොත් එම පක්ෂයෙන් හෝ ස්වාධින කණ්ඩායමෙන් ඉදිරිපත් වු සභිකයා තේරී පත් වීම සිදු වෙයි.ඒ අනුව කොට්ඨාසය නියෝජනය කරනු ලබන පුද්ගලයෙක් අනිවාර්යෙන්ම තේරී පත්වීම සිදු වෙයි. ඒ ඒ පක්ෂ හා ස්වාධීන කණ්ඩායම් ඉදිරිපත් කරන අතිරේක ලැයිස්තුවක් ද වේ.සභික ප්‍රමාණය 60% ක් ඡන්දයෙන් තේරී පත්වන විට ඉතිරි 40% ක් අතිරේක ලැයිස්තුවෙන් තෝරා ගැනීම සිදුවේ.එහිදී සභික ප්‍රමාණයේ වැඩිවීම අනිවාර්යෙන්ම සිදුවෙයි.ඒ වැඩිවන ප්‍රමාණයට මෙම අතිරේක ලැයිස්තුව ඉදිරිපත් කළ යුතු වේ.වැඩිවන ප්‍රමාණය 20% ලෙස ගත හොත් එයට වැඩිවන ප්‍රමාණය 3 ක් වේ.මුළු සංඛ්‍යාව 23 කි.උදාහරණයක් වශයෙන් 44 ක් අවශ්‍යවන විට නම් 47 ක් ඉදිරිපත් කළ යුතු වේ.


ඡන්දය ප්‍රකාශ කළ පසු වලංගු ඡන්ද ප්‍රමාණය මුළු සභිකයින් ප්‍රමාණයෙන් බෙදීම සිදුවෙයි.උදාහරණයක් ලෙස වලංගු ඡන්ද ප්‍රමාණය ලක්ෂයකි.සභික සංඛ්‍යව 100 යකි.ඡන්ද සංඛ්‍යාව සභික සංඛ්‍යාවෙන් බෙදූ විට ලැබෙන ප්‍රමාණය 1000 කි.එක් සභිකයෙකු පත් කිරීමට ඡන්ද 1000 ක් ලැබි තිබිය යුතුය.එය තීරක අංකය ලෙස සලකනු ලබයි. ඉන් පසුව ඒ ඒ පක්ෂය ලැබු ඡන්ද සංඛ්‍යාව තීරක අංකයෙන් බෙදූ විට ඒ ඒ පක්ෂයට සිටිය යුතු සභික සංඛ්‍යාව නම් කෙරේ.එක් පක්ෂයක් 2500 ක් ඡන්ද ලබි ඇත්නම් ,එම සංඛ්‍යාව තීරක අංකය වූ 1000 බෙදූ විට ලැබෙන සංඛ්‍යාව 25 කි.ඒ පක්ෂයට සභික සංඛ්‍යාව 25 කි.තවත් පක්ෂයක් ඡන්ද 3000 ක් ලබා තිබුණ හොත් සභික සංඛ්‍යාව 30 කි.


නාමයෝජනා පත්‍රවල අනිවාර්යෙන්ම කාන්තා නියෝජනය තිබිය යුතුය යන්න මෙවර විශේෂ තත්වයකි.පළමු නාම යෝජනා පත්‍රයේ සමස්ත සභික සංඛ්‍යාවෙන් 10% ක් කාන්තාවන් විය යුතුය.සමස්ත සංඛ්‍යාව 100 නම් පළමු 10 යක් කොට්ඨාශවලට දැමිය යුතුය.අතිරේක ලැයිස්තුවේ වැඩිපුර 3 ක් එකතුවන අතර එයින් 50% ක් කාන්තාවන් විය යුතුය.උදාහරණයක් වශයෙන් 23 න් 50% ක් අනුව 11 කි.ඒ ලැයිස්තුවෙන් කාන්තාවන් 11 ක් නම් කළ යුතුය. සභිකයින සමස්ත සංඛ්‍යාව 100 යක් නම් 25 ක් කාන්තාවන් විය යුතුය.තේරී පත්වන්නේ 10 ක් නම් තවත් 15 ක් අවශ්‍ය වේ.එම සංඛ්‍යාව පත් කරන ලෙස මැතිවරණ කොමිෂම ජයග්‍රහණය කළ පක්ෂයේ ලේකම් වරයාට දැනුම් දීමට සිදු වෙයි.


එහිදී සභිකයින් 3 දෙනෙකුට අඩුවෙන් හිමිකම් ලබන අයගේ ඡන්ද සංඛ්‍යාව ඉවත් කරනු ලබයි.20% කට අඩුවෙන් ඡන්ද ලබා සිටින පක්ෂය ද ඉවත් කරනු ලබයි.ඉතිරි ඡන්ද සංඛ්‍යාව කාන්තා සභික හිමි සංඛ්‍යාවෙන් බෙදනු ලබයි. උදාහරණයක් නම් 100 කින් 25 ක් කාන්තාවන් වීමට ඉතිරි පක්ෂ හා ස්වාධින කණ්ඩායම් ගත් ඡන්ද ප්‍රමාණය 25 න් බෙදූ විට කාන්තා තීරක අංකය ලැබෙනු ඇත.ඒ අනුව පක්ෂවලට නියමවන කාන්තාවන් සදහන් වේ.


2017 /12/01 දින ඉරිදා ලංකාදීප පුවත්පතේ දයාසීලී ලියනගේ නිතීඥ නිමල් පුංචිහේවා සමග පැවැත් වූ සාකච්ඡාව ඇසුරින් පළ කළ ලිපියක් කාලීන වැදගත්කම හේතු කොටගෙන The Worldceylon සයිබර් වෙබ් අඩවියේ පළ කරන ලදි.


Comments

Leave your comment