රාජගිරිය ගුවන් පාලම ජනාධිපති අතින් 08 වැනිදා ජනතා අයිතියට


දීර්ඝ කාලයක් තිස්සේ රජගිරිය ප්‍රදේශයේ පැවති රථ වාහන තදබදයට විසදුමක් ලෙස ඉදි කරන ලද නව ගුවන් පාලම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතින් ජනවාරී 08 වන දින විවෘත වීමට නියමිතය.මෙම පාලමේ වැඩ කටයුතු නිම වීමට නියමිතව තිබුණේ මේ වසර අවසාන වන විට වුවත් මජනතාව මුණපාන දැඩි දුෂ්කරතා පිළිබදව අවධානය යොමු කළ ජනාධිපතිවරයා මෙය ඉතා ඉක්මනින් නිම කරන ලෙස උපදෙස් ලබා දී තිබුණි .ඒ අනුව රාජගිරිය ගුවන් පාලම වැඩ නිම කිරීමට නියමිතව තිබූ කාලයට වඩා මාස 11කට පෙර ජනතා අයිතියට පත් කිරීමට හැකිව තිබේ.


ස්පාඤ්ඤ සමාගමක් සහ දේශිය සමාගමක් එක්ව 2016 දී මෙහි ඉදි කිරීම් ආරම්භ කළ අතර ව්‍යාපෘතිය සදහා ගිය මුළු වියදම රුපියල් මිලියන 4 700 කි.මෙම ගුවන් පාලමේ මුළු දිග ප්‍රමාණය මීටර් 533ක්වන අතර පළල මීටර් 21.4 කි.මං තීරු හතරකින් සමන්විතවන මෙම ගුවන්පාලමේ එක් පසකට මංතීරු දෙක බැගින් වේ.


මෙම ව්‍යාපෘතියට සමගාමීව රාජගිරිය අවට ප්‍රදේශයේ මාර්ග කිහිපයක් ද සංවර්ධනයට පියවර ගෙන තිබේ.ඒ අතර නාරාහේන්පිට දෙසට විකල්ප මාර්ගයක් සහ බුත්ගමුවේ නව මාර්ග තුනක් ද ඉදි කර තිබේ.


ඉහළ තාක්ෂණයෙන් මෙම ගුවන් පාලම නිමවා ඇති අතර ලෝහ මත ක්‍රොන්ක්‍රීට් පුරවා නිමවන ලද ශ්‍රී ලංකාවේ ප්‍රථම ගුවන් පාලම ලෙස ද මෙය ඉතිහාසයට එක්වනු ඇත.එමෙන්ම මෙරට ඉදි කරන ලද සුන්දරම ගුවන් පාලම ලෙස ද මෙය හැදින්වේ.


රාජගිරියේ අධික රථවාහන තදබදයක් පවතින අවස්ථාවල වාහන ගමන් කරන වේගය වන්නේ පැයට කිලෝ මීටර් 2 ක වේගයකිනි. නමුත් නව පාලම විවෘත කළ පසුව එම වේග සීමාව අට ගුණයකින් වැඩි කිරීමට අපේක්ෂා කරන බව වාර්තා වේ.


ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ නායකත්වයෙන් යුතු වර්තමාන ආණ්ඩුව ක්‍රියාත්මක කරන ලද වඩා වැදගත් මාර්ග සංවර්ධන ව්‍යාපෘතියක් ලෙස මෙම ව්‍යාපෘතිය පෙන්වා දිය හැකිය.මෙවැනි මාර්ග සංවර්ධන කටයුතු තුළින් රටේ තිරසාර සංවර්ධනයට මෙන්ම මෙන්ම ආර්ථික දියුණුවට ද විශාල මෙහෙයක් සිදුවනු ඇත.





Comments

Leave your comment