මහරගම අපේක්ෂා රෝහලට P‍ET ස්කෑන් යන්ත්‍රය ලැබේ.


දිගු කාලයක සිට මහරගම අපේක්ෂා රෝහල බලාපොරොත්තුවෙන් සිටි, මහජන මුදලින් මිලට ගත් PET ස්කෑන් යන්ත්‍රය(පොසිට්‍රෝන් විමෝචන ටොටෝග්‍රැපි) ජනවාරී මස 25 වන දින ස්ථාපිත කිරීම ආරම්භ කරන බව කදීජා අරමුදලේ සභාපති මෙන්ම ෆයිටර් කැන්සර් නිර්මාතෘ වෛද්‍ය එම්.එස්.එච්. මොහොමඩ් මහතා ඊයේ ප්‍රකාශ කළේය.


ඉහළ තාක්ෂණයෙන් යුත් මෙම ස්කෑන් යන්ත්‍රයේ මිල, මිලියන 202 ක් පමණ විය.මෙය ජර්මනියේ නිෂ්පාදිත සීමන්ස් වර්ගයේ යන්ත්‍රයක්වන අතර මෙමගින් මසකට පුද්ගල ස්කෑන් පිටපත් 100 යකට වැඩි ප්‍රමාණයක් ලබා ගත හැකිය.


මෙම යන්ත්‍රය ස්ථාපිත කිරීමට මාසයකට වැඩි කාලයක් ගතවන අතර, ලබන මාර්තු මාසයේ සිට සේවාවන් සැපයීමට හැකිවන බව වෛද්‍ය මොහොමඩ් මහතා පවසයි.මේවන විට ලංකාවේ එක් පෞද්ගලික රෝහලක PET ස්කෑන් යන්ත්‍රයක් ඇති අතර එහි එක් ස්කෑන් පිටපතක් සදහා රුපියල් 150 000 මුදලක් වැය කිරීමට සිදුවේ.


කෙසේ වුවත්, PET ස්කෑන් යන්ත්‍රය අපේක්ෂා රෝහලේ ස්ථාපිත කිරීමෙන් පසුව නොමිලේ සේවාවන් සැපයීමට සැලසුම් කර තිබේ.එසේම ස්කෑන් කිරීමට පෙර එන්නත් කරන එන්නත සදහා රුපියල් 30 000 ක මුදලක් වැය වෙන අතර එය රජයේ අනුග්‍රහය ඇතිව ඉන්දියාවෙන් ගෙන්වීමට බලාපොරොත්තුවන බව වෛද්‍ය මොහොමඩ් මහතා පවසයි.


PET ස්කෑන් යන්ත්‍රය ස්ථාපිත කිරීම සදහා වෙනම ගොඩනැගිල්ලක් අවශ්‍යවන බව ශ්‍රී ලංකා පරමාණුක බලශක්ති මණ්ඩලය නිර්දේශ කර තිබේ.ඒ අනුව එම ගොඩනැගිල්ල ඉදිවෙමින් පවතින අතර මාර්තු මාසයවන විට එහි වැඩ කටයුතු 90% කින් නිම කළ හැකි බව ද ඔහු ප්‍රකාශ කළේය.


මෙම යන්ත්‍රයේ ක්‍රියාකාරීත්වය පිළීබද අධ්‍යයනය කිරීම සදහා 9 දෙනෙකුගෙන් යුත් තාක්ෂණවේදීන් කණ්ඩායමක් ජර්මනිය බලා පිටත් කර හරින බව ද වෛද්‍ය මොහොමඩ් මහතා තවදුරටත් පැවසුවේය.


ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය කේෂ්ත්‍රයට විශාල අවශ්‍යතාවයක්ව පැවති මෙම PET යන්ත්‍රය යථාර්ථයක් බවට පත් කර ගැනීමට මිලියන 20 ක් පමණ වන මහජනතාවක් දායක වූ අතර, කදීජා පදනමේ සාමාජිකයන් 150 ක් මෙන්ම ෆයිටර් කැන්සර් අරමුදලේ සමාජිකයන් 150 ක් ද මේ සදහා විශාල දායකත්වයක් දක්වා තිබේ.




Comments

Leave your comment