බැදුම්කරය රට කළඹයි ? අද හෙටම දේශපාලන තත්වය උඩුයටිකුරු වෙයි.


2017 වර්ෂය අවසන් වී නව වසරක් උදාවී ඇත.නව වර්ෂයේ රට තුල ක්‍රියාත්මක වූ වූ කිසිදු ධනාත්මක ක්‍රියාවලියක් තුළීන් ඇති වූ යහපත් ප්‍රතිපළුයක් නොවීය.සියල්ල අයපත් අතට සිදුවූ වර්ෂයකි.අර්බුද ,වැඩවර්ජන දේශපාලන, ආරවුල් මෙන්ම විවිධාකාරයේ හදිසි ආපදාවලින් ඇති වු ජීවිත අනතුරු යනාදි මෙකී නොකී අයහපත් දේ සිදු වෙමින් දුෂ්කර මාර්ගයක් ඔස්සේ පැමිණ වර්ෂය අවසන් කර ඇත.


රට තුළ පොදු මහජනතාවට ප්‍රබෝධමත් සිතුවිලි සහිතව සතුට සෙෘභෘග්‍යය ඇති වූ බවක් පෙනෙන්ට නැත.ඔවුන් සෑම අයෙක් තුළම දක්නට ඇත්තේ දුෂ්කර, කටුක,අමිහිරි අතෘප්තිමත් කනස්සලු‍ සිත් සතන්ය.මේ සියල්ල හේතු සාධක වු කරුණු කරණා රාශියක් තිබේ.ඒ අතර ආර්ථික අපහසුකම මෙන් අක්‍රමවත් පරිපාලනය මෙන්ම දේශපාලන නිද්‍රශීලීභාවය මුලිකවන බව කිව හැක. නායකයින් කොතෙක් පුරසාරම් කීයූවත් කිසිවක් ප්‍රයෝගික නැත.බහුතරය මේ රටේ මිනිසුන් සිතන්නේ දේශපාලකයින් ආශ්චර්යමත් පුද්ගලයින් ලෙසයි.ඔවුන්ට ඕනෑම ප්‍රශ්ණයක් විසදිය හැකියැයි විශ්වාස කරයි.එහෙත් ඔවුන් ගැන දන්නෝ දනිති.ඔවුන් තව එකෙකු කොපි කරමින්, ප්‍රශ්ණ කාලයට බාර දෙමින්, කල්මරමින්, කොමිසම් පිහිටවමින් තම වාරය එන තෙක් බලාසිටින පිරිසකි.මේ තත්වය බහුතර ජනතාව නොදනී.ඔවුන්ට යම් අපහසුතාවයක් ඇති වූ විගස එයට වගකිව යුත්තේ දේශපාලකයින් යැයි කියමින් බැන වදී.එමෙන්ම තමන්ට වාසි සහගත තත්වයක් ඇති වූ විට ඔවුන්ට ප්‍රසංසා කරමින් පෙරමග ගමන් කරයි.මේ තත්වය දන්නා දේශපාලකයෝ අවාසි අවස්ථාවේ දී සැගව සිටිමින් වාසි සහගත අවස්ථාවේ දී ජනතාව ට ඉහළින් පෙනී සිටී.මේවා දේපාලන උපාය උප්පර වැට්ටි ලෙස අප විසින් හදුනා ගනු ලැබේ.


මේ තත්වය වර්තමාන ආණ්ඩුව කුමන ආකාරයෙන් වටහාගෙන ක්‍රියා කරන්නේ ද යන්න පැහැදිලි නැත.එහෙත් කිව යුතු දෙයක් ඇත.වර්තමාන ආණ්ඩුව ආඩි හත්දෙනාගේ කැද හැලියකි. කිසිම හිගන්නෙක් තමන් සතුව ඇති සහල් මිටක් සැළියට නොදමයි.සෑම එකාම සිතන්නේ අනෙකා දමාවි කියාය.අවසානයේ කැද උගුරක් බිවූ කිසිවකුත් නැත.නටපු නැටුමකුත් නැත .බෙරේ පළුවකුත් නැත.මෙය ගමේ කියමනකි. මෙය යහපාලන ආණ්ඩුවට කදිමට ගැළපන උදාහරණයකි.අගමැතිතුමා ඇතුළු ආණ්ඩුව යමක් කරන්නට උත්සාහ කරනු බවක් පෙනෙන්නට තිබේ.එහෙයින්ම බොහෝ පිරිසක් මේ ආණ්ඩුව යූ.එන්.පී ආණ්ඩුවක් ලෙස සිතා සිටිනවා විය හැක.එහෙත් මෙහි තවත් පක්ෂවල මන්ත්‍රීවරු ඇමතිකම් දරමින් සිටී.ඒ ශ්‍රි ලංකා ලංකා නිදහස් පක්ෂයයි.නමුත් වැඩකරන්නේ යු.එන්.පී මන්ත්‍රීන් සහ ඇමතිවරුන්ය.ඔවුන්ට අවශ්‍යය වුයේ දිර්ඝ කාලයක් විපක්ෂයේ සිටි හෙයින් හැකි තරම් ඉක්මනට තම පාක්ෂිකයින්ට වැඩක් කර දීමටයි.එය අගමැතිතුමාගේ සිට ගමේ යු.එන්.පී කරයා දක්වා සිදු වූවකි. එහෙත් ඉක්මන් කොටයි කියා කතාවක් තිබේ.සිදු වූයේ ද එයයි.ජනාධිපතිතුමා තනිවම රට පාලනය කරන බව මිනිසුන්ට මේවන විට ඒත්තු ගොස් ඇති අතර ආණ්ඩුව තම තමන්ගේ හිතවතුන්ට යුතුකම් ඉටු කරමින් සිටී. මේ තත්වය තුළ ජනාධිපති තුමාට කළ හැක්කක් නොමැති බව පෙනෙන්නට තිබේ.


මෙවැනි තත්වයක් තුල ඉක්මන් කොට වීම මත අද වන විට සියල්ල අනතුරේ දමා තම ජීවිත ද උගසට තබා සින්නවීමට ආසන්නවන විට කෑමොර දී සතර වටේටම බැනවදිමින් සිටින දේශපාලකයින් දක්නට ලැබේ.තමන්ට වැඬේ වැරදුන බව පෙනෙන හෙයින් ඔවුන් මෙසේ හැසිරෙනවා විය හැකිය.පසු ගිය වසර දෙක තුළ දී යහපාලන ආණ්ඩුව කළ කී දේවල ප්‍රතිපල ඉදිරියේ දී දැක බලා ගැනීමට අවස්ථාව උදාවී ඇත්තේය. ඒ ළග එන පළාත්පාලන මැතිවරණයේ දීය.මෙම මැතිවරණය පිළිබද කවුරුවත් උදම් ඇනිය යුතු නැත.ජනතාව සෑම සියළු දෙනාගේම පැටිකිරිය හොද හැටි දනී.පෙනෙන්ට තිබෙන ආකාරයට මේවන විට කිසිදු පුද්ගලයෙකුට හෝ පක්ෂයකට පැහැදිලි ජයක් ලැබේ යැයි විශ්වාස කළ නොහැක.මිනිසුන් කාට තම කැමැත්ත ප්‍රකාශ කරන්නේ ද යන්න පිළිබද කතාවක් ද නැත.එහෙත් යු.එන්.පී ය උදම් අනන්නේ තම අත ආණ්ඩු බලය තිබෙන හෙයින් පළාත්පාලන ආයතන ජයග්‍රහණය තමන්ට පහසු එකක් බවයි.එමෙන්ම ජනාධිපතිවරයා පෙරටුකර ගත් ශ්‍රි ලංකා නිදහස් පක්ෂය ජනාධිපතිවරයා තමන් අත හෙයින් ඔහුට සමීප වීම තුළ ජයග්‍රහණය තමන් අත බැව් විශ්වාස කරති.එමෙන්ම ආණ්ඩු විරෝධී සියලු ජන කොටස් ඇත්තේ තමන් සමග බව හිටපු ජනාධීපති මහින්ද රාජපක්ෂ මහතා ප්‍රම්‍රඛ ඒකාබද්ධ විපක්ෂයේ කොටසක් සහ ඔහුට සහයෝගය දක්වන පිරිස්වල අදහසයි. ජනතා විමුක්ති පෙරමුණ මේ සියල්ල තුළින් තමන් වෙනස් මතයක් දරණ බව සහ වෙනස් ප්‍රතිපත්තියක් සහිත බව පෙන්වීමට උත්සාහ දරයි.


කෙසේ වු ආණ්ඩුව විසින්ම ඇතිකරගත් මහා ව්‍යසනයම දැන් ඔවුන්ටම පාරා වලල්ක් වී තිබේ. ඒ බැදචුම්කර වංචාව පිළිබද ගැටළුවයි.මේ වන විට එහි අවසන් වාර්තාව බැදුම්කර කොමිසම විසින් ජනාධිපතිවරයාට බාර දී ඇත. පිරිසිදු යහපාලනයක් වෙනුවෙන් ඒකරාශී වී ආණ්ඩුවක් පිහිටුවා හිතාමතා හෝ නොමේරූ උපාය උපක්‍රම නිසා හෝ කළ අඥාණකමේ ප්‍රතිපළුයක් ලෙසින් තමන් විසින් තමන් වෙතම විසි කර ගන්නා ලද බෝම්බය තමන්ටම හානියක් කරන තැනට පැමිණ ඇත්තේය.


මේ වන විට ජනාධිපතිවරයා තමන් ජයග්‍රහණය කර වූ පිරිසටම ආපසු හැරී ඒ බෝම්බය විසි කර ඔවුන්ම විනාශ කිරීමට සිදුවීම දෛවෝපගත සිදුවීමකි.එකට ජයග්‍රහණය කර ඒ ජයග්‍රහණය කිරීමෙන් පසු ඒ අය එකී සම්මුතීන් උල්ලංඝනය කිරීම තුළ ඔවුන්ව කණ්ඩායමෙන් ඉවත් කිරීම සදහා තම අසිපත භාවිතා කීරීමට ජනාධිපතිවරයාට දැන් සිදු වී ඇත්තේය.එළඹෙන ජන (03) වන දින ජනාධිපතිවරයා බැදුම්කර වාර්තාව පිළිබද පැහැදිලි ප්‍රකාශයක් ජනතාවට කිරීමට සුදානම් වන බව මාධ්‍ය වාර්තා කරයි.එයින් පසු ඇතිවන තත්වය මත 2018 වර්ෂයේ දී ලාංකීය දේශපාලනය තුළ අලු‍ත් ආකෘතියක් ගොඩනැගෙනු ඇත.


මෙම වංචාව සිදු කළ අය මෙම වාර්තාව මගින් හෙළි වීමත් සමග ඔවුන්ට එරෙහිව අධිකරණමය ක්‍රියාමාර්ග ගත යුතුය. එය ජනාධිපතිවරයාට හෝ අගමැතිවරයාට වැලැක්විය නොහැක.මේ හරහා වැඩි බලපෑමක් ඇති වී ජනතාව අතර අප්‍රසාදයට ලක්වන්නේ ආන්ඩු බලයේ සිටින එක්සත් ජාතික පක්ෂයයි. .එයට සම්බන්ධ අනෙකුත් කණ්ඩායම් තම ඇග බේරා ගැනීමේ ක්‍රමවේදයක මේ වන විට නිරත වෙමින් සිටී . ඔවුන් ජනාධිපතිවරයාගේ රැකවරණය යටතේ සිටියත් යු.එන්.පීයේ අයට අගමැතිවරයාගේ රැකවරණය නොලැබෙන්නේය.මන්ද යත් මෙයට වගඋත්තරකරුවෙකු ලෙස අගමැතිවරයා ද සම්බන්ද වී සිටින හෙයිනි.


එහෙයින් පළත්පාලන මැතිවරණය කට උඩ තියා මෙම බැදුම්කර වාර්තාව ඉදිරිපත් කිරීම හරහා යු.එන්.පී යේ ඡන්ද පදනම මෙන්ම රට තුළ අප්‍රසාදයට පත්වීම ඔවුන්ටම පාරාවලල්ලක් වී කිබේ.ඒ හරහා ඉදිරි‘ තෙමස තුළ වර්තමාන පාර්ලිමේන්තුව තුල ආණ්ඩු බලයේ පවතින සංයුතියේ කිසියම් ආකාරයේ කඩාවැටීමකට ලක් විය හැක.


වැරදි කරුවන් ඉවත් කර, යු.එන්.පීයේ පිරිසිදු පිරිස හා අගමැතිවරයා සමග ආණ්ඩුවේ ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රී කණ්ඩායමක් සහ තවත් සුළු පක්ෂ සමග ඉදිරි කාලයේ භාරකාර ආණ්ඩුවක් පිහිටවනු ඇති බවට ද සැක කළ හැක.


කෙසේ වුවත් තීරණාත්මක ඉදිරි කාලයේ දී රට තුළ දේශපාලන ස්ථාවරත්වයක් බැලූ බැල්මට පෙනෙන්නේ නැත.එහෙයින් 2018 වර්ෂය ආරම්භයේ පටන් දේශපාලනය උඩු යටිකුරුවන බව පවසන්නේ ජේාතිශය අනාවැකි අනුව නොව පෙනෙන්නට තිබෙන දේශපාලන වටපිටාව පිළිබද පුළුල් සවින්ඥාණික දැක්මකින්ය.

Comments

Leave your comment