තාක්ෂණය තුළ මාධ්‍ය භාවිතය අධ්‍යයනයෙන් භාවිතා නොකරන්නෝ, සකසන වෙබ් ආචාරධර්ම


දෙසැම්බර් (29) දින ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත වඩාත් සාධනීය සහ වගකීම් සහිත වෙබ් මාධ්‍ය කලාවක් වෙනුවෙන් ආචාරධර්ම පද්ධතියක් පිළීගන්වනු ලැබූ බවට ප්‍රවෘත්තියක් දැක මේ වෙනුවෙන් අදහස් දැක්වීමට සිතුවෙමි.මෙම කාර්ය කර ඇත්තේ වෙබ් මාධ්‍යවේදීන්ගේ සංගමයේ කැදවුම්කරු ප්‍රෙඩී ගමගේ මහතා ඇතුළු පිරිසකි.මෙම අවස්ථාවට ජනමාධ්‍ය හා මුදල් ඇමති මංගල සමරවීර මහත ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් සුදර්ශන ගුණවර්ධන මහතා ද සහභාගී වී ඇත.මෙම ප්‍රවෘත්තිය දැකීමෙන් යම් අදහස දැක්වීමක් කළ යුතුයැයි සිතුන හෙයින් මෙසේ ලියමි.


ලෝකයේ සියල්ල දිනෙන් දින වෙනස් වෙමින් ඉදිරියට ගමන් කරන්නා වූ ක්‍රියාවලිය තුළ ,පුද්ගලයා තමන්ගේ ඥාණය , දැනුම සහ හැකියාව මත ඒ වෙනස් වීමට මුහුණ දෙන ආකාරය ද වෙනස් වන්නේය.මේ සියල්ල මිනිසාගේ නිර්මාණයන් මිස වෙනත් ග්‍රහ ලෝකයකින් පැමිණි ක්‍රමවේද නොවන්නේය..පුවත්පත ආරම්භ වීමට පෙර තොරතුරු දැන ගැනීම සදහා මිනිසා විවිධ ක්‍රම උපයෝගී කර ගන්නා ලදි.පසුකාලීනව කඩදාසි නිෂ්පාදනයත් සමග පුවත්පත ආරම්භවීමත් ඒ හරහා යන්ත්‍ර සූත්‍ර නිෂ්පාදනයත් මිනිසුන්ගේ අදහස් පොදු සමාජ තුළ බෙදා ගැනීම සිදු විය.මේ අදහස් පොදු සමාජය වෙත යැවීමට සංදේශ සකස් කිරීම සදහා විෂය හැකියාවෙන් යුත් භාෂ දැනුම සහ බුද්ධිය උගත්කම සහිත පුද්ගලයින්ගේ සේවාව මේ කේෂ්ත්‍රයට අවශ්‍ය විය.ඒ අනුව ලියන්නන් හෙවත් ලිපි සම්පාදකයින් බිහි විය.ඔවුන් ලේඛකයින් ලෙසින්ද හැදින්විය හැකිය.අද වුව ද (Journalist) ලෙස හදුවන්නේ මේ අය වේ.මෙම වචනයට වෙනස් අර්ථයක් අදවන තුරු ද ලෝකය තුළ නොමැත.


ඉන් පසු පැමිණි තාක්ෂණය තුළ රූපවාහිනී මාධ්‍ය මෙන්ම ගුවන්විදුලි මාධ්‍ය තුළ ද කටයුතු කළේ ද ඉහත පිරිසම වීම විශේෂත්වයකි.නව මාධ්‍යට නව කණ්ඩායම් බිහි වූයේ නැත.අද මාධ්‍යවේදීන් ලෙස සලකන්නේ ද ඔවුන්ය. මේ අනුව ලිපි සම්පාදකයා මූලික කරගනිමින් වාර්තාකරුවන් තොරතුරු එක් රැස් කරන්නන් විභේදනය වී ඡායාරූප මාධ්‍යවේදීන්, පුවත්පත් මාධ්‍යවේදීන් , තොරතුරු ඉදිරිපත් කරන්නා ආදී මෙකී නොකී පිරිසක් බිහිවෙමින් විවිධ ආකෘතීන් යටතේ මේ වන තෙක් පැමිණ ඇත්තේය.මේ සියළුදෙනාම අවබෝධයෙන් මෙන්ම දැනුමෙන් ද ඡන්මයෙන් ගෙනෙන හැකියාවෙන් ද සන්නද්ධව මේ කේෂ්ත්‍රයට පැමිණීයෝවෙති.ඒ අතර ඊට පරිබාහිරවද පිරිසක් සිටිය හැකිය.සෑම පුද්ගලයෙකුට මෙම කේෂ්ත්‍රයේ රැදී සිටිය නොහැකිය.මෙහි ඇති දුෂ්කරත්වය මෙන්ම විශාල ආර්ථික වටිනාකම් හිමි නොවන, සැබෑ මාධ්‍ය කේෂ්ත්‍රය සුවිශේෂ වන්නේ දැනුම පදනම් කරගෙනය.


එහෙයින්ම මෙම කේෂ්ත්‍රයේ නියළෙන පුද්ගලයින්ට සෑම විටම ස්වයං විවේචනයක් මෙන්ම දැනුමෙන් අත්පත්වන ශික්ෂණයක් ද සහිතය.ඒ අනුව පොදු මහ ජනයා වෙත නිර්භිතව සමාජය තුළ ඇති අඩුලුහුඩුකම් අනාවරණය මෙන්ම තුන්කල් දැකීමේ නුවණින් කරුණු කාරණ ඉදිරිපත් කිරීම සිදු කරයි.මේ අය අදත් ඒ වෘත්තීය එළෙසින්ම සිදු කරයි.ඒ අයට වෙනම වෙන් වූ ආචාරධර්ම පද්ධතියක් සකසන්න ඔවුන්ට එහායින් සිටින පුද්ගලයෝ කවුරුහුද ? තම වෘත්තිය තුළ සෑම කෙනෙකුටම ආචාර ධර්ම පද්ධතියක් තිබිය යුතුය.එය දේශපාලන කේෂ්ත්‍රයේ සිටින්නන්ට ද පොදු වූ කාරණයකි.මාධ්‍ය තුළ නිරතවන්නන් තමන් විසින් තමන් සදහා සකසා ගත් ආචාරධර්ම දේශපාලකයින් ලවා අනුමත කරවා ගැනීමට යෑම උචිත නොවන බව කිව යුතුමය.දේශපාලකයින්ඔ ඔවුන්ගේ ආචාරධර්ම ඔවුන් සකසා ගෙන මාධ්‍යවේදීන්ට හෝ වෙන යම් කේෂ්ත්‍රයක සිටින ප්‍රවීණයන්ට භාර දෙන්නේ නැත.එමෙන්ම ඔවුන් තුළ ස්වයං හික්මීමක් ද නැත.එහෙත් මාධ්‍යවේදින් එසේ නොවේ.


එමෙන්ම අන්තර්ජාලය අදවන විට විද්‍යුත් මාධ්‍ය, පුවත්පත මෙන්ම ගුවන් විදුලි මාධ්‍ය යන ත්‍රිත්වයම සම්මිශ්‍රණය කරමින් ප්‍රභලවම නැගී සිටී.ඒය සයිබර් අවකාශයේ මාධ්‍ය හැසිරීම ලෙස දක්වනවාට වඩා චින්තන විප්ලවයක පෙර මාධ්‍ය භාවිතය ලෙස හදුන්වන්නේ නම් වඩා උචිතවනු ඇත.එසේ පවසන්නේ ඉදිරි දස වසර තුළ ලෝකයේ පුවත්පත්, රූපවාහිනිය මෙන්ම ගුවන් විදුලිය අභිබවා අන්තර්ජාල මාධ්‍ය භාවිතය ඉදිරියට එනු ඇත.ඒ මත ගොඩනැගෙන බහු මාධ්‍ය භාවිතයට වෙනමම ආචාරධර්ම පද්ධතියක් හදුන්වාදීමට අවශ්‍ය නොවේ.ලෝකය තුළ එවැන්නක් මේවන තුරු සිදුවී ඇත්තේ ද නැත.


කඩදාසි මත මුද්‍රණය වු පුවත්පත් සගරා නවතා දමා අන්තර්ජාල බහු මාධ්‍ය භාවිතයට ලෝකයේ රටවල් ගමන් කරමින් සිටී. එමෙන්ම රූපවාහිනී මෙන්ම ගුවන් විදුලි මාධ්‍යය ද ඔවුන්ගේ විකාශන චන්ද්‍රිකා තාක්ෂණය ඔස්සේ අන්තර්ජාලය හරහා සජීවී විකාශන ලෙස ඉදිරිපත් කරයි.එහෙයින් මේ සියල්ල සමස්තයක් ලෙස තොරතුරු හුවමාරු කර ගැනීමයි.එය කාලයෙන් කාලයට තාක්ෂණයේ වෙනස්කම් අනුව වෙනස්වන ක්‍රමවේදයන්ගෙන් යුක්ත වේ.එසේ නොමැතිව මේ කිසිවක් එකින් එක වියුක්තව ගෙන කොටස් කර භාවිත කිරීමට හැකියාවක් නැත.ඒ අනුව වෙබ් මාධ්‍යවේදීන් යැයි වෙනම කොටසක් සිටිය නොහැක. අනතර්ජාල මාධ්‍ය තුළ තම මාධ්‍ය භාවිතය වෙනස් ආකෘතියකින් ඉදිරිපත් කරන්නේ ද එදා සිට ලිපි සම්පාදකයා ය. (JOURNALIST)ඔහු අද අන්තර්ජාලය හරහා තමන්ගේ අදහස් ප්‍රකාශ කරයි.එදා තිබු විකල්ප පුවත්පත්, එසේ නොමැතිනම්( මඩ පත්තර )අදත් අන්තර්ජාලයේ ඇත.එදා තිබූ ලිංගික උද්විපනය වෙනුවෙන් මෙන්ම, ඕපාදූප පුවත්පත් වෙනුවට අද ගොසිප් යනුවෙන් වෙනමම වෙනස් වෙමින් එම ආකාරයේ ම අකෘතික හැඩතල අනුව අන්තර්ජාලය තුළ භාවිතා වේ.එකම පුද්ගලයා තාක්ෂණය අනුව වෙනස් වෙමින් වෙනස් ස්වරූපයන්ගෙන් පෙනී සිටීම පමණක් මෙහි සිදුවේ.


මෙය සිංහල හෝ ඉංග්‍රීසියෙන් ලියන අයට වෙන් වෙන් වු ආකෘතියෙන් විශේෂත්වයක් ගෙන ක්‍රියා කළ යුතු නොවේ.එදා සිටි ලිපි සම්පාදකයා අද අන්තර්ජාල බහු මාධ්‍ය තුළ තම භූමිකාව එලෙසින්ම ක්‍රියාවේ යොදවයි.ඔහුගේ වගකීම්, ආචාරධර්ම එලෙසින්ම පවතී ඔහුගේ ක්‍රියාකාරකම් ද ඒ අයුරින් සිදුවේ.එහෙයින් වෙබ් මාධ්‍යවේදන් යැයි වෙනම පිරිසක් ලෝකය තුළ නොමැත්තේය.


එහෙත් මෙම බහු මාධ්‍ය තාක්ෂණය තුළ ඕනෑම පුද්ගලයෙකුට ස්වං වරණයකින් හෝ සංස්කරණයකින් තොරව තමන්ගේ අදහස් හෝ විවේචන ඉදිරිපත් කිරීමේ ඉඩකඩ පවතී.එය සුවිශේෂත්වයකි. මෙය සමාජ මාධ්‍ය ලෙස ලොව පුරා ජනප්‍රිය, ෆේස් බුක් ඔස්සේ අදවන විට දැක ගත හැක.මේ සදහා නම් යම් කිසි සීමා ඇති කළ යුතුය.එහෙත් එය ද දියුණූ තාක්ෂණය තුළ එතරම් ප්‍රායෝගික නොවන්නේය.කෙසේ වුවත් කිසියම් දැනුමක් හෝ අවබෝධයකින් තොරව වගකීම් විරහිත ලෙසින් මේ බහු මාධ්‍ය තාක්ෂණය ඔස්සේ නිවැරදි නොවන ලෙස භාවිතා කරමින් දුර්මත මෙන් සමාජ විරෝධී ආකල්ප පතුරවන්නේ නම්, ඒ අයට නීතියෙන් දඩුවම් කළ යුතුය.එමෙන්ම ඒ අය එසේ හැසිරෙන්නේ එය කලාවක් හෝ බහු මාධ්‍ය භාවිතයක් ලෙස නොදනීම නිසා විය හැක.


විශේෂයෙන් මේ අය මේ කේෂ්ත්‍රය පිළිබද දැනුමෙන් මෙන්ම සුදුසුකම් ලත් පිරිසක් නොවන හෙයින් ඔවුන්ට සීමා බන්ධන පැනවිය යුතුය.විශේෂයනේම මේ අය ආසාවට කුමක් හෝ සිතට එන දෙයක් ලියමින් අදහස් දක්වන අයයි. එය තාවකාලික තත්වයකි.නුදුරේම බහු මාධ්‍ය තාක්ෂණය නිවරදි සැකැස්මකට හැඩ ගැසුණු කළ, මෙය නිවරදි වනු ඇත.අදවන විට ලෝකය තුළ මෙය නිවරදි වෙමින් බ්ලොග් කලාව හරහා නිවරදිව ගමන් කිරීමක් තුළ යම් ක්‍රමවේද සැකැස්මක් තුළට ගමන් කරමින් සිටී.එහෙයින්ම හෙට දවසේ නිවරදි සැකස්මකින් බහු මාධ්‍ය තුළ තොරතුරු සම්පාදනය නිසි ක්‍රමවේදයකින් ඉදිරියට ගමන් කිරීමේ ප්‍රවණතාවයක් පෙනෙන්ට තිබේ.


Comments

Leave your comment