ඡන්දයෙන් පසු } සභිකයින්ගේ වැඩිවීම මත අසාර්ථක වන පළාත්පාලන ආයතන.


හය හතර නොදන්නා ගමේ කොළු ගැටව් මෙන්ම දේශපාලනය පිළිබද හසරක් නොදන්නා පුද්ගලයින් දැන් මේ රටේ ගම්මාන පුරා ඇවිදමින් තමන්ට ඡන්දය දෙන ලෙස ඉල්ලා සිටීයි.මේ අය දන්නේ තමන් ඉදිරිපත්වන පක්ෂය සහ එහි ලකුණ පමණකි. ඔවුන් ජනතාවට පවසන්නේ, තමන්ට අපේක්ෂකත්වය ලබා දුන් පක්ෂය හෝ එම පක්ෂයේ ඉහළ නායකන් වන, පළාත් සභා නියෝජිතයින් එසේත් නැතිනම් පළාතේ මන්ත්‍රිවරයා එසේ නැත්නම් ආසනයේ සංවිධායකවරයා කට පාඩමින් කියා දුන් විස්තර පමණි. එනම්, ඒ කියවන වැකි අතර ”‍අපි ඡන්දෙන් පත් වුණාම මේ ප්‍රදේශය සංවර්ධනය කරන ආකාරය විස්තර කරයි , ඒ අතර අනෙක් පක්ෂයන් විවිචනය කිරීමට ද අමතක නොකරයි. මේ තැටිය තම සෑම පක්ෂයකම අය මේවන විට වාදනය කරමින් යයි.


ඒත් කවුරුත් නොදන්නා දෙයක් තිබේ.මේ පළාත්පාලන ඡන්දයේ පවතින ක්‍රමය තුළ තමන් පත්වන්නේ කෙසේද ? පත් වූ පසු ඇතිවන තත්වය කුමක්ද ? පාලන බලය කාට ලැබේවිද ? එසේ ලැබුණාම කවුරුන්ද සභාපති හෝ නගරාධිපති වන්නේ, බහුතරයක් අපේක්ෂකයින්ට මේ කිසිදු කාරණයක් පිළිබද අබමල් රේණුවක අවබෝධයක් නොමැත.


J V P එකේ නියෝජිතයෝ පමණක් උත්සහ කරන්නේ තමන් ජයග්‍රහණය කිරීමට වඩා පක්ෂයට චන්ද එකතු කිරිමටයි. ඔවුන් එහි දී පුද්ගලයින් ඉස්මතු කිරීමක් සිදු නොකරයි.ගමෙන් කලාපයෙන් වැඩි ඡන්ද ප්‍රමාණයක් සීනුවට දමා ගැනීම හරහා ඉන් පසු සිදුවන කාරණය පක්ෂය තීරණය කරනු ඇතැයි ඔවුන්ගේ විශ්වාසයයි.


එමෙන්ම කාන්තා නියෝජනය සහ පක්ෂයට ලැබෙන ඡන්ද ප්‍රමාණය මත පක්ෂ අපේක්ෂකයින් ද අදාල පක්ෂය විසින් ඉදිරිපත් කළ නාමයෝජනා ලැයිස්තුව තුළින්ම පත් වනු ඇතැයි, බොහෝ අපේක්ෂකයින්ගේ විශ්වාසයයි.එහෙයින් තමන් පරාජය වුවත් හිතවත්කම් මත සභික දූරයක් ලබා ගැනීමට හැකිවනු ඇති බව ඔවුන්ගේ විශ්වාසයයි.


ඉන් පසු ඇතිවන තත්වය නම් , පසුගිය කාලයේ පළාත්පාලන ආයතනවල සිටි සභික සංඛ්‍යාවට වඩා මෙවර එය දෙගුණයකින් වැඩිවීමයි .මේ තුළ ඇතිවන අක්‍රමවත් බව මෙන්ම වියාකූලත්වය තාම කිසිවෙකුට නොතේරේ ප්‍රදේශයේ මහජනයාගේ බදු මුදලින් යැපෙන ප්‍රදේශිය සභා සහ නගර සභා සංවර්ධනයට ඇති මුදල්වලින් මේ සභිකයින් සදහා වැටුප් සහ දීමනා ලබා දීමට සිදු වීමයි.ඒ අනුව මේ වැඩිවන අනෙකුත් වියදම් පියවා ගන්නා ආකාරය කෙසේ සිදු කළ යුතු ද යන්න මෙහි පවතින අනෙක් ගැටළුවයි.


බොහෝ නාගරික ප්‍රදේශවලට අයත්ව ඇති මහ නගර සභා නගර සභා සහ ප්‍රදේශීය සභා වලට මේ ගැටලුව බල නොපෑවත් ඉතා අසීරුවෙන් කළමනාකරණය කරගනිමින් අහිංසක මහජන මුදලින් නඩත්තුවන ප්‍රදේශිය සභා මේ සභිකයින්ගේ වැඩිවීම තුළ ඊට මුණ දෙන්නනේ කෙසේ ද? එමෙන්ම ග්‍රාම සේවා වසම් දෙකකට හෝ තුනකට එක් සභිකයකු බැගින් සිටීම තුළ ඔහුට ඒ ප්‍රදේශය තුළ කළ හැකි විශේෂ සංවර්ධනයක් නැත.ඇත්තේ පාර හැදීම නම්, විදුලිය ලබාදීම නම්,(වීදි ලාම්පු) කාණූ සුද්ධ කිරීම නම්, ඉන් එහාට ගොවි සංවිධානයකට ක්‍රිඩා සමාජයකට බඩු බෙදා දීම නම්, ඒ හැර මේ සභිකයින් වෙන කුමක් කරන්න ද? අනෙක් අතට මේ සභිකයින්ගේ වැඩිවීම හරහා ඔවුන්ගේ තත්වය ද හෑල්ලු‍වට ලක් වීම කණගාටුදායකයි.


උදාහරණයක් ලෙස මාතර නගර සභාව තුල කලින් සභිකයින් සංඛ්‍යාව 15 කි අලුත් චන්ද ක්‍රමය යටතේ එය 26 දක්වා වැඩිවේ.එමෙන්ම තංගල්ල නගර සභාව තුළ එය 9 සිට 19 දක්වා වැඩි වේ.මෙසේ සභීකයින් වැඩිවීම තුළ ඡන්ද දායකයන්ගේ වැඩිවීමක් සිදු නොවේ.එසේනම් එතුළම මෙහි පවතින විකෘති තත්වය මනාව පැහැදිලි වේ.මාලිම්බඩ ප්‍රදේශිය සභාව තුළ 9 සිට 17 දක්වා වැඩිවන සභිකයින් සංඛ්‍යාව ප්‍රදේශිය සභාවේ සේවය කරන ලිපිකරුවන් සහ කම්කරුවන් සංඛ්‍යාවට වඩා ඉහළ යෑම සත්‍ය වශයෙන්ම විහිළු සහගතය.බොහෝ කුඩා ඉඩ ප්‍රමාණයක ප්‍රදේශිය සභා සැසිය පවත්වන ග්‍රාමීය මට්ටමේ ප්‍රදේශිය සභාවල සභිකයින් සංඛ්‍යාව ඉහළ යෑමෙන් ස්ථානය සහ කාර්යාල පහසුකම් ද වෙනස් කිරීමට සිදු වෙයි.ඒ සදහා වැය කිරීමට සිදුවන අමතර වියදම් සදහා මුදල් සොයා ගනුයේ කෙසේද? මේ සදහා රජයෙන් අවශ්‍ය අමතර මුදල් ප්‍රතිපාදන ලබාගෙන අවශ්‍යතාවයන් ඉටු කළත් ඒයට ද කිසිවෙකුගේ සාක්කුවෙන් මුදල් වැය නොවෙයි.එයද ආර්ථික අහේනියෙන් පෙලෙන ජනතාව මත පැටවෙන අමතර බරකි.


එමෙන්ම වැයවන අමතර කාලය සහ වැය වන මිනිස් ශ්‍රමය වෙනුවට ඒ වෙනුවෙන් අදාල සභිකයින්ට කළ හැකි සේවය කුමක්ද? එමෙන්ම එසේ වැයවන මුදල්වලට ලබා ගත හැකිවන වටිනකම් මොනවාද? එම මුදල් නැවත ආදායමක් ලෙස ලබා ගත හැකි නගර සභා හෝ ප්‍රදේශිය සභා දිවයින පුරා ඇත්තේ කීයෙන් කීයද? බොහෝ නගර සභා සහ ප්‍රදේශිය සභා අතිරික්ත ආදායම් උපදවන්නේ නැත.


මේ පිළිබද පැහැදිලි අදහසක් දේශපාලකයින්ට රාජ්‍ය නිලධාරීන්ට මෙන්ම පොදු මහජනතාවට ද නොමැත්තේය.නමුත් මේ කාරණා පිළිබද හොදින් අවබෝධය ඇති දේශපාලන පක්ෂ නායකයින් දන්නා එක් දෙයක් ඇත. තම පක්ෂයට වැඩිවන සභිකයින් ප්‍රමාණය මත ප්‍රදේශිය මට්ටමෙන් දේශපාලන පක්ෂ ප්‍රවර්ධනය කිරීමේ පහසුකම ඇතිවන බව, එමෙන්ම එම වාසිය කුඩා පක්ෂවලට නොමැති අතර ප්‍රධාන ධාරාවේ පක්ෂ මෙම වාසිය අත් කර ගැනීම වැලැක්විය නොහැක.එමෙන්ම එහි ප්‍රතිලාභ ලැබෙන්නේ ද ඔවුන්ටමය.


උදාහරණයක් ලෙස -මෙරටේ තුන්වන බලවේගය ලෙස හදුන්වන J V P ය මේ අවස්ථාවේ තවත් එක් අත්හදා බැලීමක් සිදු කරයි. එය නම් ඔවුන්ට ග්‍රාමීය වශයෙන් තම පක්ෂය ප්‍රවර්ධනය කිරීමට ඇති අපහසුකම මත තමන්ට මේවන විට ලැබෙන ඡන්ද ප්‍රමාණය මත ලැබෙන සභිකයින් මේ චන්ද ක්‍රමය තුල වුවද දෙගුණ වීමයි. ඒ තුළ ඔවුන්ට ග්‍රාමීය මට්ටමෙන් සභිකයින් හරහා පක්ෂ ප්‍රවර්ධනය තුලින් ඊලග පාර්ලිමේන්තු මැතිවරණයකදී එය භාවිතා කර ජනතාව වෙත යෑමේ පහසුම ඉඩ කඩ සකස් කර ගැනීමට ඇති හැකියාවයි. මෙවැනිම සමීකරණයක් 2004 දී සන්ධාන ආන්ඩුව බලයට පත් කිරීමේ දී ඔවුන් ක්‍රියාවට නැන්වීය එහිදී මන්ත්‍රී ආසන 40 ලබා ගැනීමට හැකි විය. මේ අනුව මේ පළාත්පාලන ඡන්දය හුදෙක් දේශපාලන පක්ෂවල වාසිය සහ ඔවුන්ගේ පැවැත්මට සැකසු ක්‍රමවේදයක්ය ය.මේ තුළ කිසිසේත්ම ජනතාවට කළීන් තිබුණාට වඩා වැඩි සේවාවක් හෝ ප්‍රතිලාභයක් නම් ලැබෙනු ඇතැයි සිතිය නොහැක

Comments

Leave your comment