ගහෙන් වැටුණු මිනිහට ගොනා ඇනීමේ නිය්‍යයෙන් ක්‍රියාත්මක වන ලංකාවේ නව බදු ක්‍රමය.


අය-වැය යෝජනා ක්‍රියාත්මක වෙමින් තිබේ. 2018 වසරේ අය වැය ඉදිරිපත් කළ ආණ්ඩුව වක්‍ර බදු අඩුකරන බව කියා සිටියේය. සෘජු බදු ප්‍රතිශතය නංවන අතර එය විනිවිද පෙනෙන බදු ක්‍රමයක ආරම්භය වනු ඇති බව සඳහන් කළේය. බදු වැඩි කරන උපදෙස් මූල්‍ය අරමුදලේ එකකි. ආණ්ඩුව යහපාලන නමුත් ප්‍රතිපත්ති හදන්නේ මූල්‍ය අරමුදලයි. රජයේ ගෙවුම් ශේෂ අර්බුදය පාලනය කර ගැනීම සඳහා තාවකාලික ණය සංචිතයක් ගැනීමේදී අරමුදලේ නිලධාරීහු එම ණය වෙනුවෙන් කොන්දේසි පැනවූහ. බදු වැඩි කිරීම එයින් එකකි. පවතින බදු අනුපාත අනුව සෘජු බදු සියයට අසූවක් වන විට වක්‍ර බදු සියයට විස්සක් බව මූල්‍ය අරමුදල පෙන්වා දුන්නේය. එය වෙනස් කරන සේ බල කළේය. කිසිසේත් මූල්‍ය අරමුදලේ විධිවිධාන අනුගමනය නොකරන බවට වේදිකාවේදී පොරොන්දු වන මෙරට දේශපාලනඥයන් මෙරට අය-වැය යෝජනාවලට ඒවා රිංගවා තිබේ.


අය-වැය අනුව සෘජු බදු අනුපාතය සියයට හතළිහ දක්වා වැඩි වෙයි. වක්‍ර බදු සියයට හැට දක්වා පහත වැටේ. අප්‍රේල් පළමුවැනිදා සිට රජය යෝජනා කරන ලද නව බදු අනුව සෘජු බදු වැඩි වී ඇත. අඩුකරන ලද වක්‍ර බදු මොනවාද? කිසිම අඩු කිරීමක් නැත. බදු ගෙවන බව ජනතාව දැනගෙන සිය ආදායම අනුව රටට බදු ගෙවීම සෘජු බදු යනුවෙන් අදහස් කෙරේ. මෙරට බහුතර ජනතාව තමන්ගේ එදිනෙදා වියදම්වලින් බදු ගෙවන බව දන්නේ නැත. රජයේ ආදායමෙන් සියයට අසූවක් ජනතාව නොදැන ඔවුන්ගෙන් අය කරන බදු හෙයින් මෙම තත්ත්වය ඉතාම බරපතළය. මෙතෙක් කල් නොදන්වා වක්‍ර සේ අය කරන බදු අඩු කර ඇති බව නිවේදනය නොකරන්නේ ඇයි? වක්‍ර බදු අඩු කර සෘජු බදු වැඩි කරන බව කියන ආණ්ඩුව මෙම දෙකම වැඩි කර ඒවායෙන් ලැබෙන ආදායම තමන්ගේ භාණ්ඩාගාරයට එකතු කරගනිමින් සිටී.


පසුගිය වසරේ ශ්‍රී ලංකාවේ සංවර්ධන වේගය සියයට 3.1 දක්වා පහත වැටී තිබේ. වසර දහසයකට පසු අඩුම වර්ධනයයි. වර්ධනය අඩුවන විට ආර්ථික සක්‍රීයතාව අඩුවන අතර එය බදු ආදායම අඩුවීමට බලපාන ප්‍රධාන හේතුවකි. අකාර්යක්ෂම හා නිසි ඵලදායීතාවයෙන් තොර සැලසුම් රට අවදානමකට යොමු කර තිබේ. මහ බැංකු අධිපතිවරයා අවස්ථා කිහිපයක අනතුරු අඟවා ඇත. නොබෝදා නැවතත් කියා සිටියේ නැවත නැවතත් මෝඩකම් කරන බව සිහිපත් කරමින් බව සිහිපත් කළ යුතුය. වෘත්තීය විශේෂඥයන්ගේ පුරෝකථන නොතකන දේශපාලකයන් දුප්පත් ජනතාවගේ දහදිය මහන්සි සමඟ සෙල්ලම් කරමින් සිටී.


අලුත් බදු සංශෝධන සමඟ මෙරට බදු එකතු කිරීම දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට දහ අටක් දක්වා වැඩිවනු ඇත. කලින් වසරේ පැවැති සියයට පහළොවක බදු ප්‍රතිශතයට වඩා සියයට තුනක් ඉහළට බව පෙනේ. මෙකී සියයට තුන පමණක් රුපියල් බිලියන හැටකි. මිලියන විසි එකකට ආසන්න ජනගහනයකින් කලින් ගෙවූ බදුවලට අතිරේක වශයෙන් අවුරුද්දකට බිලියන හැටක් එකතු කරගැනීම සාධාරණ බද්දක්ද? බදු ගැන අනවශ්‍ය භීතියක් මතු කරන බව මැති ඇමැතිවරුන් චෝදනා කරන්නේ මෙවැනි පසුබිමකය. මැති ඇමැතිවරුන් හා නිලධාරීන් බද්දෙන් නිදහස්ය.බදු රහිත නිල වාහන සැපයේ. දෙස් විදෙස් නිල සංචාර හිමි අතර දුරකතන, කාර්ය මණ්ඩල, නිල නිවාස සහ කාර්යාල වියදම් වශයෙන් අති විශාල පහසුකම් ප්‍රමාණයකි. ඒවාට ගෙවන්නේ ජනතාවගේ බදු බව සඳහන් කළ යුතුය. රාජ්‍ය පාලනයේ වියදම් අඩු කරන සැලැස්මක් රටට නැත.


කාර්යාලවලට කුලියට ගත් ගොඩනැඟිලිවලින් ප්‍රයෝජන ගන්නේ නැත. ණය බර වැඩි බව කියන ආණ්ඩුව බදු වැඩි කරද්දී පවා ණය ගැනීම කිසිසේත් පාලනය නොකරයි. ආර්ථිකය සක්‍රිය කරන අලුත් යෝජනා නැත. මැති ඇමැතිවරු සැප විඳිමින් සිටිති. තනතුරු හා ඒවාට ලැබෙන වරප්‍රසාදවලට කොපමණ ගිජුද යත් අත්හරින්නට කැමැත්තක් නැත. නොබෝදා පැවැති විශ්වාසභංග යෝජනාවේදී අගමැතිට විරුද්ධ වූ ඇමැතිවරු තවමත් ඇමැතිකම්වල සිටිති. එහි සදාචාරයක් නොදන්නා මෙරට දේශපාලනඥයන් ජනතාවගේ දුක වේදනාව දන්නේ නැත.අලුත් බදු යෝජනා අනුව උපයන විට ගෙවිය යුතු බදු ප්‍රතිශත වෙනස් කර තිබේ. බදු නිදහස් මාසික ආදායම හැත්තෑ පන්දහසේ සිට ලක්ෂය දක්වා නංවා ඇත. එය සහනයක් යැයි හිතන්නට ඉඩ තිබේ. නමුත් මෙතෙක් වැටුප පමණක් ගණන් බැලූ අතර එයට සියලු දීමනාද එකතු විය යුතු බව දක්වා ඇත.සියලුම පෞද්ගලික අංශයේ සේවකයන් බදු ගෙවිය යුතු තැනට පත් කර ඇත. 2017 වසර අවසන් වන විට ලංකා විදුලිබල මණ්ඩලය රුපියල් බිලියන විසි නවයක් පාඩු ලබනු ඇතැයි අනාවරණය වී තිබිණි. ආණ්ඩුව මෙහෙයවන වෙනත් ව්‍යාපෘති එයට වඩා විශාල පාඩු ගෙන දෙන අතරවාරයේදී විදුලිබල මණ්ඩලයේ පාඩුව සම්පූර්ණයෙන් මෙරට තැන්පතුකරුවන්ට පවරන්නට ආණ්ඩුව පියවර ගෙන තිබේ.අද සිට මෙරට බැංකුවල ගනුදෙනු කරන ජනතාව මත අතිරේක බද්දක් පැනවෙයි. එනම් තැන්පතුවලට ලැබෙන පොලියෙන් අය සියයට පහක රඳවා ගැනීමේ බද්දක් අය කරන්ට ආණ්ඩුව තීරණය කර තිබේ. එය මෙතෙක් පැවැති බද්ද දෙගුණ කිරීමකි. අවුරුද්ද අවසානයේදී මෙමඟින් උපයා ගැනීමට අපේක්ෂා කර ඇති ආදායම රුපියල් බිලියන විසි හයකි. එය පසුගිය වසරේ අපේක්ෂා කළ, තවමත් නිවැරැදිව ගණන් බලා නැති විදුලි බල මණ්ඩලයේ පාඩුවට යම් ආකාරයකට ආසන්න මුදලකි.


ජනතාවට දහසක් පොරොන්දු දී බලයට පත්වන සෑම ආණ්ඩුවක්ම අවසානයේදී බර පටවන්නේ පොදු ජනතාවටය. මැති ඇමැතිවරුන් හා නිලධාරීන් තමන්ගේ සුඛ විහරණය අඩු කරන්නේ නැත. බදු රහිත වාහන, සියලු දීමනා, විදෙස් සංචාර පමණක් නොව ඉහළම වැටුප් ලබන පාලකයෝ සිය අකාර්යක්ෂම අදූරදර්ශී පාලන ප්‍රතිපත්තිවලින් අත්පත් වන අවාසනාවන්ත තත්ත්වය ජනතාව මත පටවන බදුවලින් හිලව් කරගනිමින් සිටිති.පොදු ජනතාව මහන්සි වී උපයන ධනයෙන් කොටසක් බදු වශයෙන් ලබා ගැනීම ප්‍රශ්නයක් නොවේ. නමුත් ආණ්ඩුවේ පංගුව සාධාරණ සහ යුක්ති සහගත එකක් විය යුතුය. මෙරට වාණිජ බැංකුවල ගිණුම් හිමි රුපියල් හැට දහසකට වඩා පොලී ආදායමක් උපයන සෑම ගිණුමකින්ම සියයට පහක බද්දක් අය කෙරෙනු ඇත. මරණාධාර සමිති පවා මෙයින් ගැලවී නැත. ආගමික ස්ථානවල ගිණුම්ද යටත්ය. සියලු පෞද්ගලික පොදු හෝ හවුල් ගිණුම්වලින් මෙකී බද්ද අය කෙරේ. විදේශගත ශ්‍රමිකයන් උපයා රටට එවන ධනය බදුවලින් නිදහස් කරන්නට මෑතක් වනතුරු තීරණය කර තිබිණි. නව බද්ද එම ප්‍රතිපත්තියද වෙනස් කර තිබේ. දුක් මහන්සි වී විදේශ රටවල වැඩ කර රටට අවශ්‍යම විදේශ විනිමය ගෙන එන ශ්‍රමිකයන්ගේ ඉතුරුම්වලින්ද බද්ද අය කර ගැනේ. විශ්‍රාමිකයන්ගේ පොලී ආදායමද යම් සීමාවකට පසු බද්දට යටත්ය.


රජයේ සේවා ගාස්තු සියයට පහළොවකින් වැඩි කර තිබේ. එයින් උපයා ගැනීමට අපේක්ෂා කරන ආදායම රුපියල් මිලියන 7,500කි. සෙස් බදු අඩු කිරීමෙන්, විශේෂ ආහාර ද්‍රව්‍ය මිල අඩු කිරීමෙන් හා වරාය හා ගුවන් තොටුපොළ බදු අඩු කිරීමෙන් රජයට අහිමි වන නොඑසේනම් ජනතාවට ලැබෙන වාසිය රුපියල් මිලියන 5,000ක් යැයි ගණන් බලා ඇති අතර අලුතින් පනවන ලද සේවා ගාස්තු සියයට පහළොවකින් වැඩි කිරීමෙන් පමණක් එයට වඩා ආදායමක් උපයා ගැනේ. ඒවා ගෙවන්නේ මෙරට පොදු ජනතාව බව සඳහන් කළ යුතුය. වැට් හා ජාතිය ගොඩනැගීමේ බදුවලින් පමණක් රුපියල් මිලියන විසි පන් දහසක් ඉලක්ක කර ඇත. පසුගියදා සිගරැට්, දුම්කොළ හා මත්පැන්වලට ජාතිය ගොඩනැඟීමේ බද්ද පැනවීය. අය-වැයට පසු නැවත බදු පැනවීමෙන් තවත් බර පැටවෙන්නේ රටවැසියන්ටය.සමාගම් බදු නැංවීය. අලුත් බදු ප්‍රතිශත සියයට දහ හතර විසි අට හා හතළිහකි. කලින් තිබුණේ සියයට දහය හා දහ හතර වැනි ප්‍රතිශතයන්ය. අති විශාල නැංවීමක් බව පෙනේ. සමාගම්වල බද්ද ගෙවන්නේ ඒවායේ අධ්‍යක්ෂවරුන් නොවේ. අවසානයේදී එයින් නිපදවන භාණ්ඩ, වෙළෙඳපොළ සේවා සහ අලෙවි කරන දේවලිනි. ඒවා එකතු වෙන්නේ භාණ්ඩ හා සේවා මිලට වන අතර ඉදිරි වසර තුළ ඒවා බලපවත්වනු නිසැකය. ජනතාවට එල්ල වන වක්‍ර බද්දකි. විදුලි සන්දේශ බදු සියයට විසි පහ දක්වා වැඩි කළේය. ඒවා බලපාන්නේ දුරකතන පාවිච්චිය හා අන්තර්ජාල භාවිතයටය.2018 අය-වැය මඟින් ණය ගෙවීමට බද්දක් පැනවීය. ඒවා අය කරන්නේ වාණිජ බැංකුවලින් බව ප්‍රකාශ කළ අතර ජනතාවට නොවන බව තරයේ කියා සිටියේය. ගනුදෙනුවල ප්‍රතිශතයක් මහා භාණ්ඩාගාරයට එවන්නට බැංකුවලට නියම කළේය. එකතු කරන්නට ඉලක්ක කළ මුදල රුපියල් මිලියන විසි දහසකි. ඇතැම් වාණිජ බැංකු එය සිය ගනුදෙනුකරුවන්ට පවරා තිබේ.


අප්‍රේල් පළමු වැනිදා සිට සියලුම ඉතිරි කිරීමේ ගිණුම්වල ශේෂය රුපියල් එක්දහස් පන්සියයකට අඩුවන විට මාසයකට රුපියල් විසි පහක ගාස්තුවක් අය කෙරේ. තවත් බැංකු ටෙලර් යන්ත්‍ර භාවිත නොකර කවුන්ටරයෙන් ගනුදෙනු කරන රුපියල් ලක්ෂයකට අඩු ඒවාට රුපියල් දහයක ගාස්තුවක් නියම කර ඇත. ගනුදෙනුකරුවන්ට පැනවූ ගාස්තුවලින් අතිවිශාල වාසි අත් පත්කරගන්නා වාණිජ බැංකු එයින් කොටසක් රජයේ ණය ගෙවීමේ බද්දට රුපියල් මිලියන විසි දහසක් ගෙවනු ඇත.කිසිම ප්‍රමිතියකින් තොරව බැංකු ගිණුම්වලින් ගාස්තු අය කිරීම බැංකු පාලනය කරන මහ බැංකුව සොයා බැලිය යුතුය. මෙරට ජනගහනයෙන් සියයට අසූවකට බැංකු ගිණුම් තිබේ. ඒවා වක්‍ර බද්දකට යටත් කර ඇති ආණ්ඩුව සෘජු බදු වැඩි කර විනිවිද පෙනෙන ක්‍රමයක් ඇති කරන බව ප්‍රකාශ කිරීම හාස්‍යයට කරුණකි.


පසුගිය වසර පහ හය තුළ මෙරට රාජ්‍ය අංශය දෙගුණයක් වී ඇත. රජයේ සේවයෙහි නිරත පිරිස ලක්ෂ දහ හතරකි. දත්ත දක්වන අන්දමට රජයේ ආදායමෙන් සියයට 32ක් වියදම් වන්නේ රජයේ සේවය නඩත්තු කිරීමටය. 2014 අය-වැය මඟින් රජයේ් හා පළාත් පාලන සේවක වැටුප් වෙනුවෙන් රුපියල් බිලියන 487ක් වෙන් කරන විට 2018 දී එම පිරිවැය රුපියල් බිලියන 705 කි. රට හදනවා වෙනුවට මැති ඇමැතිවරුන් හා නිලධාරීන් නඩත්තු කරන්නට ජනතාවට සිදුවී ඇත.


ශාමින්ද වත්තේගෙදර විසින් මව්බිම පුවත්පතට ලියූ ලිපිය උපුටා දැක්වීමකි.

Comments


මේක කොච්චර හොදදෙයක්ද? ලංකාවේ මිනිස්සු සමරිසි අයට කරන කෙනෙහෙලිකම් නවත්වයි එතකොටවත්. ඉස්කෝලෙ ළමයි කීසීයක් අධ්‍යාපනය අතෑරලා ඇත්ද පාසල තුල සමරිසි ළමයින්ට වෙන කෙනෙහෙලිකම් නිසා

  • Sep 21, 2017

  • Sep 21, 2017

Your Comment...

  • Sep 21, 2017

Your Comment...

  • Sep 21, 2017

Your Comment...

  • Sep 21, 2017

Your Comment...

  • Sep 21, 2017

Your Comment...

  • Sep 21, 2017

Your Comment...

  • Sep 21, 2017

Your Comment...

  • Sep 21, 2017

Your Comment...

  • Sep 21, 2017

Your Comment...

  • Sep 21, 2017

Your Comment...

  • Sep 21, 2017

Leave your comment