ක්‍රිකට් ඇදවැටීමට හේතු වූ කරුණු පිළිබද ලසිත් මාලිංගගේ අදහස්.


ශ්‍රි ලංකා ක්‍රිකට් ක්‍රිඩාවේ කඩාවැටීම නවත්වා ක්‍රිකට්ක්‍රිඩාව නව මාවතකට යොමු කිරීමේ අටියෙන් ක්‍රිඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා විසින් පත්කරන ලද කමිටුවක් විසින් මෙම වැඩුළුව සංවිධානය කරන ලදි. එහිදී ශ්‍රි ලංකා කණ්ඩායම දැනට මුහුණ දී සිටින අභාග්‍ය සම්පන්න තත්ත්වයත් ඊට හේතුවූ කාරණාත් සම්බන්ධයෙන් ලසිත් මාලිංග විසින් දිගින් දිගටම කරුණු දක්වන ලදි.


අපි තණකොළ තියෙන තණතීරුවක් ඉල්ලුවාම ඒගොල්ලන් තණකොළ කපලා තට්යක් වගේ තණතීරුවක් දෙනවා....තණකොළ කැපුවේ ඇයි කියලා ඇහැව්වාම තණකොළ මැෂිමට වැරදි තලේ දාලා කියනවා” යයි පැවසූ මාලිංග “මේක සිද්ධ වුණේ එක පාරක් නෙමේ දෙපාරක්” “මම මේ ගැන බලධාරීන්ට කිව්වත් කිසිම දෙයක් වුණේ නෑ. මම කියන්නේ නෑ අපි මැච් පැරදුනේ ඒක හින්දයි කියලා. ඒත් මේ විදිහට අපට අවශය දේ වෙන්නේ නැති වුණාම ක්‍රිඩකයින්ගේ ආත්ම විශ්වාසය බිඳ වැටෙනවා” යයිද පැවසීය.


බංග්ලාදේශ, සිම්බාබ්වේ සහ ඉන්දීය කණ්ඩායම් වලට එරෙහිව මෑතකදී පැවැති ටෙස්ට් තරගාවලි වලදී ශ්‍රි ලංකා පිල දේශීය තණතීරුවල වාසිය නිසිලෙසින් භාවිතා කළේද යන්න පිළිබඳව බොහෝ මතවාද ඇතිවී තිබිණ. මාලිංගගේ මෙම චෝදනාව හමුවේ එම කටකතා වලට නැවතීමේ තිත තබන්නට සිදුවී තිබේ. ශ්‍රි ලංකා කණ්ඩායමේ පුහුණුකරුවන් සහ ඔවුන්ගේ සුදුසුකම් සම්බන්ධයෙන්ද මාලිංගට ඇත්තේ කුකුසකි. “අපට පුහුණුකරුවන් මහ ගොඩක් ඉන්නවා. ඒත් අහන්න තියෙන්නේ ඒ අය නිසි සුදුසුකම් තියෙන පුහුණුකරුවන්ද කියලයි. තරුණ ක්‍රිඩකයන් ප්‍රවීණත්වය දක්වා ගෙන යන්නට ඔවුන්ට තියෙන සුදුසුකම් මොනවාද කියලයි”


“උදාහරණයකට කියනවා නම් කිසියම් ක්‍රිඩකයකුගේ අසාර්ථක සමයකදී පුහුණුකරුවාට තියෙන්න ඕනේ එයාට උදව් කරන්න හැකියාවක්. ඔහුගේ මානසිකත්වය වර්ධනය කරලා නැවතත් දස්කම් අතරට ගේන්න පුහුණුකරුවාට හැකියාවක් තියෙන්න ඕනේ”....යයි කී මාලිංග පළමු පෙළ තරග 16 ක් පමණක් ක්‍රිඩා කර ඇති සයිමන් විල්ස් මහතා උසස් දස්කම් කළමණාකරු ලෙසින් පත්කර තිබීම ගැන තදින් විවේචනය කළේය. අපි අපේ ක්‍රිකට් ක්‍රිඩාවේ අනාගතය බාරදීලා ඉන්නේ හරිහමන් පළමු පෙළ තරග අත්දැකීම්වත් නැති කෙනෙකුටයි” “අපි ඒ වගේ තනතුරක් වෙනුවෙන් තෝරා ගන්න ඕනේ හරි හමන් සුදුසුකම් තියෙන කෙනෙක්. ඒත් අපි ඒ වගකීම දීලා තියෙන්නේ පළමු පෙළ තරග 16 ක් ක්රීඩ කරපු, තරග දිවිය පුරාම ලකුණු 100 ක් වත් ගහපු නැති කෙනෙකුට. මේක බරපතළ වැරැද්දක්


“ජාතික කණ්ඩායමේ ක්‍රිඩකයෙක් ජාතික කණ්ඩායමෙන් ඉවතට ගියාම එයාට කණ්ඩායමේ පුහුණු පහසුකම් භාවිතා කරන්න බෑ. අපි මේගැන කතා කළත් කිසිම විසඳුමක් නෑ. ඒ නිසා අපට පුහුණුවීම් සඳහා අපේ ක්‍රිඩා සමාජ වෙත යන්න වෙනවා” යයිද මාලිංග පැවසීය. පසුගිය වසර 10 ක පමණ කාලයේදී තේරීම් කමිටු නිලධාරීන්ගේ හිතුවක්කාරකම් හේතුවෙන් ක්‍රිඩකයන් ගණනාවක්ම අහිමිවූ බවත් ඉදිරියේදී එය සිදුවීමට ඉඩ නොතබන ලෙසත් මාලිංග බලධාරීන්ගෙන් ඉල්ලා සිටියේය. “කාලයකට ඉස්සරවෙලා සමහර අයගේ මතයක් තිබුණා පාසල් පිටියේ ඉඳලා කෙළින්ම ජාතික කණ්ඩායමට ක්‍රිඩකයන් ගන්න පුළුවන් කියලා. ඒත් එහෙම කළොත් පළමු පෙළ අත්දැකීම් තියෙන අයට අසාධාරණයක් වෙනවා”


“තිළිණ කණ්ඩම්බි, චාමර කපුගෙර, මලින්ද වර්ණපුර, ජෙහාන් මුබාරක්, කෞෂාල් ලොකුආරච්චි, කෞෂාල් වීරරත්න වගේ ක්‍රිඩකයන්ව හරියට නඩත්තු කළානම් අද අපට මේ වගේ දෙයක් වෙන්නේ නෑ. ඒ සේරමලාට හොඳ පළමු පෙළ අත්දැකීම් තිබුණා. ඒත් දැන් ඒ සේරමලා අපට අහිමි වෙලා” “මම නැවතත් කියන්නේ ඒ වගේ වැරදි නැවත වෙන්න දෙන්න එපා කියලයි. එහෙම වුණොත් තවත් අවුරුදු කීපයකට පස්සෙත් අපේ ඉරණම මේ වගේම තමයි”





Comments

Leave your comment