එජාපයේ පසුපෙළ මන්ත්‍රින්ගේ ක්‍රියා කලාපය ජනපතිගේ දැඩි විවේචනයට.


එජාපයේ ඇතැම් පසුපෙළ මැති ඇමැතිවරුන් තමන්ට විරුද්ධව කරන ප්‍රකාශවලට දැඩි විරෝධය පළ කළ ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා අද(16) පැවැති කැබිනට් රැස්වීමෙන් නැගිට ගොස් ඇතැයි මාධ්‍ය වාර්තා කරයි.මෙම අවස්ථාවේ දී ජනාධිපතිවරයා ඇමැතිවරුන් හමුවේ දීර්ඝ විවේචනාත්මක කථාවක් ද කර ඇති බව පැවසේ.


කැසට් රෙකෝඩරයක්ද අතතැතිව කැබිනට් රැස්වීමට පැමිණි ජනාධිපතිතුමා තමන් විසින් කරනු ලබන ප්‍රකාශයට අසා සිටීමට කැමති අය මෙන්ම අකමැති අයද මෙතැන අද දින සිටිය හැකි වුවත් ඒ කෙසේ වුවත් තමන් මෙම ප්‍රකාශය සිදු කරන බවත් එය අසා සිටින ලෙසත් පවසා ඇත.විනාඩි 35ක පමණ කාලයක් දැඩි ස්වරයෙන් අදහස් දැක්වූ ජනාධිපතිවරයා එජාපයේ පසුපෙළ මැති ඇමතිවරුන්වන හරීන් ප්‍රනාන්දු, එස්.එම්.මරික්කාර්, නලින් බණ්ඩාර හා සුජීව සේනසිංහ මෙන්ම තවත් මන්ත්‍රීවරුන් කිහිප දෙනෙක්ගේ නම් සඳහන් කරමින් ඔවුන් ක්‍රියා කලාපය දැඩි ලෙස දෝෂාරෝපණය කර තිබේ.


මෙහිදී බැදුම්කර කොමිෂම පිළීබදව සදහන් කළ ජනාධිපතිතුමා, තමන් බැඳුම්කර කොමිසම පත්කළේ එජාපයට මඩ ගැසීමට නොව අතර හොරුන්ට දඬුවම් කිරීම සදහා පමණක් බව පවසා ඇත.මෙම අවස්ථාවේ දී ජනාධිපතිවරයා හොරුන්ට දඬුවම් දෙනවාට විරුද්ධ ද නැද්ද යනුවෙන් ද විමසා ඇත.


රවී කරුණානායක මුදල් ඇමැති ධූරයට මෙන්ම අර්ජුන් මහේන්ද්‍රන් මහ බැංකු අධිපති ධූරයටත් පත් කිරීමේදී තමා දැඩි විරෝධය පළ කළ බව කී ජනපතිවරයා මෙහිදී නැවත මතක් කර දී තිබේ.එමෙන්ම එදා තමන් කී දේ ඇසුවානම් අද මෙවැනි අර්බුදයක් ඇතිනොවන බවද ඔහු පවසා ඇත. මේ ආකාරයට ආණ්ඩු කළ නොහැකි බව කී ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා ආණ්ඩුව කරගෙන යනවාද නැද්ද යන්න පිළීබදව එජාප මැති ඇමැතිවරුන් තීරණය කළ යුතු බවද කියා සිටිමින් රැස්වීමෙන් පිටව ගිය බවද වාර්තාවේ.


අනතුරුව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු ඡේෂ්ඨ ඇමැතිවරුන් කිහිප දෙනකු ජනපති කාර්යාලයට ගොස් මෙවැන්නක් ඉදිරියට ඇතිවීමට ඉඩ නොතබන බවත් පසු පෙළ මන්ත්‍රීන්ගේ ක්‍රියාකලාපය පිළිබදව ඔවුන්ට අවවාද මෙන්ම උපදෙස් දෙන බව ද පවසා ජනපතිවරයා නැවත කැබිනට් රැස්වීමට කැඳවාගෙන පැමිණ ඇතැයි වාර්තා වේ.






Comments

Leave your comment