ඉන්දුනීසියා ජනපති හා ශ්‍රී ලංකා ජනාපති අතර නිල හමුව හා සාකච්ඡා ජනාධිපති කාර්යාලයේ දී


ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමාගේ ආරාධනය පරිදි දෙදින නිල සංචාරයක් සඳහා දිවයිනට පැමිණි ඉන්දුනීසියා ජනාධිපති ජෝකෝ වීඩෝඩෝ මහතා සහ ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා අතර නිල හමුව ඊයේ(24) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී පැවැත්විණි.ඉන්දුනීසියාවේ ජනාධිපතිවරයෙකු ශී‍්‍ර ලංකාවේ සංචාරයක නිරත වන්නේ ඉන්ඳුනිසියාවේ හිටපු ජනාධිපති සුකර්නෝ මහතා 1979 වසරේදී ශ‍්‍රී ලංකාවේ සංචාරය කිරීමෙන් අනතුරුව එනම් වසර 38 කට පසුව වීමද විශේෂත්වයකි.


ප‍්‍රධාන ක්ෂේත‍්‍ර 03 ක් ඔස්සේ එම ද්වි පාර්ශ්වික සාකච්ඡා පැවැත්වුණු අතර දෙරටේ ආර්ථික සහයෝගීතාව තවදුරටත් වර්ධනය කරගැනීම, දෙරට අතර පුද්ගල සහ ආයතනික ධාරිතා වර්ධනය කරගැනීම සහ ඉන්දියානු ශාන්තිකර සහයෝගීතාව වර්ධනය කර ගැනීම පිළිබඳ එහිදී ප‍්‍රමුඛ අවධානයක් යොමු විය.දෙරට අතර ද්විපාර්ශ්වික වෙළෙඳ සබඳතා ප‍්‍රවර්ධනය කර ගැනීම සඳහා නිදහස් වෙළෙඳ ගිවිසුමකට අත්සන් තැබීම පිළිබඳව ද මෙහිදී නායකයින්ගේ අවධානය යොමු කෙරිණි


2017 වර්ෂයේදී ශී‍්‍ර ලංකාව මුහුණ දුන් සහල් හිඟයට පිළියමක් ලෙස ඉන්දුනීසියානු රජය විසින් සහල් මෙටි‍්‍රක් ටොන් 5,000 ක් පරිත්‍යාග කිරීම පිළිබඳව ද ජනාධිපතිතුමා මෙහිදී ඉන්දුනීසියානු ජනාධිපතිවරයා වෙත සිය විශේෂ ස්තූතියි පිරිනැමීය.


ශී‍්‍ර ලංකාව සහ ඉන්දුනීසියාව අතර රාජ්‍යතාන්ති‍්‍රක සබඳතා ස්ථාපිත වී වසර 65 ක් සපිරීම ද මේ වසරේ සමරනු ලබන අතර මෙම දශක හය හමාරක කාලපරිච්ඡේදය තුළ දෙරට විසින් දේශපාලන, සංස්කෘතික, ආර්ථික, වෙළෙඳ, ආරක්ෂක හා සංචාරක යන ක්ෂේත‍්‍ර ඔස්සේ පවත්වාගෙන යනු ලබන මිත‍්‍රශීලී ද්විපාර්ශ්වික සබඳතාවය ද නායක දෙපළ සිහිපත් කළහ.


දෙරට අතර සහයෝගීතාව වර්ධනය කෙරෙන නව අවබෝධතා ගිවිසුම් 03 කටද ද්වි පාර්ශ්වික සාකච්ඡාවලින් අනතුරුව රාජ්‍ය නායකයින් ඉදිරියේ අත්සන් තැබිණි.


උසස් අධ්‍යාපන, පර්යේෂණ හා තාක්ෂණික සහයෝගීතාව පිළිබඳ අවබෝධතා ගිවිසුම, නීති විරෝධි අයුරින් මත්ද්‍රව්‍ය සහ මත්කුඩු ප‍්‍රවාහනය මැඩලීමේ අවබෝධතා ගිවිසුම සහ සෝදිසි හා ගලවාගැනීමේ මෙහෙයුම් පිළිබඳ අවබෝධතා ගිවිසුම ඊට ඇතුළත්ය.





Comments

Leave your comment