පොලිස් වෙඩි ප්‍රහාරයෙන් නොසන්සුන් වූ කතරගම


කතරගම නගරයට ආසන්න මල්ලිකාරාම මාවතේ දී ඊයේ රාත්‍රී 10:55 ට පමණ අණ නොතකා ධාවනය කළ යතුරුපැදියකට පොලීසිය සිදුකළ වෙඩි තැබීමකින් ප්‍රදේශයේ පදිංචි 44 හැවිරිදි පුද්ගලයෙකු තුවාල ලැබූ අතර පසුව රෝහල් ගත කරන ලද ඔහු ජීවිතක්ෂයට පත්විය. මෙම ආරංචිය පැතිර යාමත් සමග එක් රැස් වූ ප්‍රදේශවාසින් ඊයේ රාත්‍රියේ පොලිසිය ඉදිරිපිට විරෝධතාවයක නිරත විය. මෙම නොසන්සුන්කාරී තත්ත්වය පාලන කිරීම සඳහා පොලීසිය එල්ල කළ කඳුලු ගෑස් ප්‍රහාරයේදී කාන්තාවන් 13 ක් ඇතුළු පුද්ගලයින් 58 ක් පොලිස් අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය පවසයි.


කෙසේ වෙතත් යතුරු පැදියේ පසුපස ගිය පුද්ගලයා ප්‍රකාශ කර ඇත්තේ පොලිස් අණ පරිදි යතුරු පැදිය නවැතූ පසු වෙඩි තැබීම සිදු කළ බවයි.ඔහුද යතුරුපැදියෙන් ඇද වැටීමෙන් තුවාල ලබා රෝහල්ගත කර තිබේ.


මේ සම්බන්ධයෙන් පරීක්ෂණයක් පැවැත්විම සඳහා පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාගේ උපදෙස් පරිදි විශේෂ පොලිස් කණ්ඩායමක් කතරගම ප්‍රදේශයට පිටත්කර යවා තිබෙන බවද වාර්තාවේ.මෙම වෙඩි තැබීම සිදුකළ පොලිස් නිලධාරීයා මේවන විට අත්අඩංගුවට ගෙන මේ මසමස 30 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.


මෙම වෙඩි තැබීම පිළීබදව ප්‍රදේශවාසීන් විරෝධය පළ කිරීමට පටන් ගැනීමත් සමඟ ප්‍රදේශයේ සහ පොලිස් ස්ථානයේ ආරක්ෂාවට පොලිස් විශේෂ කාර්ය බළකාය කැඳවා ඇතැයි පොලිසිය කියයි.වෙඩි තැබීම නිසා කළහකාරී වූ පිරිස් එල්ල කළ ගල් මුල් ප්‍රහාරවලින් පොලිසියේ 20 දෙනකුට පමණ සුළු තුවාල සිදුවූ බවත්, පොලිස් පරිපාලන ගොඩනැගිල්ල, පොලිස් නේවාසිකාගාර ගොඩනැගිල්ල සහ පොලිස් ස්ථානාධිපතිවරයාගේ නිල නිවස ඇතුළු දේපොළ රැසකට අලාභ හානි සිදුවූ බව ද පොලිසිය පවසයි.


මේ අතර පොලිස් වෙඩි තැබීමට විරොධය පළ කරමින් ප්‍රදේශවාසීන් අද කතරගම - තිස්ස මාර්ගය අවහිර කරමින් ටයර් පුළුස්සමින් විරෝධතා පැවැති අතර ප්‍රදේශයේ කළු කොඩි ඔසවා ඇති අයුරු දැක ගත හැකි විය. පොලිසියට ගල් මුල් ප්‍රහාර එල්ල කළ බව කියන පුද්ගලයන් 100ක් පමණ අත්අඩංගුවට ගත් බව ද පොලිසිය පවසයි.






Comments

Leave your comment