ගිනස් වාර්තාවට යන්න සාරි පොටක් කළ හදියක්.


සල්ලි නැති වුණාමත් මිනිස්සුන්ට පිස්සු හැදෙනවා වගේම සල්ලි වැඩි වුණාමත් පිස්සු හැදෙනවා.මේ සල්ලි වැඩි වී පිස්සුවෙන් තවත් මිනිස්සු අමාරුවේ දාපු කතාවක්. ගිනස් පොතට යන්න ලෝකයේ ජීවත්වන බොහෝ දෙනෙකුට ඇත්තේ පුදුම ආසාවක් . ඒ ආසාව ඉෂ්ඨ කර ගැනීමට ඔවුන් නොකරන දෙයක් නැහැ.


ඒකේ ගැටළුවක් නැත. තම තමන්ගේ රුචිකත්වය අනුව ඕනෑම ක්‍රියාවක යෙදීමට සෑම පුද්ගලයෙකුටම අයිතියක් ඇත. එහෙත් එයින් සමාජයට යම් කිසි පීඩාවක්,අප්‍රසාදයක් මෙන්ම හානියක් සිදුවන්නේ නම් එයට නීතිය මගින් කටයුතු කිරීමට හෝ සමාජමය වශයෙන් එරෙහි වීමට ද පුද්ගලයාට අයිතියක් ඇත.


පාසැල් දරුවන් පුද්ගලික අවශ්‍යතාවයන් වෙනුවෙන් යොදා ගැනීම මොන රටේ නීතිය යටතේ ද බලය තිබෙන්නේ. මේ රටේ සියළු පුද්ගලයින් තමන්ගේ දරුවන් අධ්‍යපන අමාත්‍යාංශය විශ්වාස කරමින් පාසැල් කාලය තුළ වගකීම පවරනුයේ පුද්ගලික අවශ්‍යතා වෙනුවෙන් සාරි පොටවල්වල එල්ලී ගිනස් වාර්තා තැබීමට මහ දවල් ගිනි අව්වේ පාරේ පෝලිම් ගැහෙන්නට නොවෙයි. මේවා මේ රටේ පරිපාලනයේ පවතින බැරූරැම් දුර්වලතාය. සරත් ඒකනායන නමින් නම් කර ඇති පාසලේ ඔහුගේ උත්සවයක් ලෙස සලකා ගිනස් වාර්තාවට මේ ළමයින් සම්බන්ධ කරගනුයේ දේශපාලන බලය භාවිතකර විය හැකිය.


චක්‍ර ලේඛණ හෝ ජනාධිපතිවරයාගේ නියෝග අමතක කිරීමට තරම් පළාත් අධ්‍යපන බලධාරීන් දුර්වලද? මේ උගත් පරිපාලන නිලධාරීන් නීති රෙගුලාසි නොදැන මේවාට අනුබලය දුන්නායැයි කීම විහිළු සහගතය. සත්‍ය කාරණය නම් මෙවැනි වැඩ පිළිවල් අභ්‍යන්තරයේ ඇත්තේ මුදල් බලයයි. එයට ප්‍රතිපත්ති නීති රෙගුලාසි හෝ අයිතිවාසිකම් බලපාන්නේ නැත. පාසැල් ළමුන් නොව කිරිදෙන මව්වරු වුවත් මහ පාරේ නිදි කරවන්න තරම් මේ රටේ මුදල්වලට අද බලය ලැබී ඇත.


එය දූෂණය නාස්තිය වංචාව ඉහවහා ගිය රටක ස්භාවයයි. මෙවැනි ක්‍රියාවන්ට නීතිය තදින් ක්‍රියාත්මක විය යුතු වන්නේය. රාජ්‍ය නිලධාරීන් රටේ නීතිය තුට්ටුවකට මායිම් කරන්නේ නැති නම් මේ රටේ පරිපාලනය නිවරදි කරන්නේ කෙසේද?