උද්ඝෝෂණය කරන්න! බන්ධනාගරයට යාමට කැමති අය.


කිසියම් ක්‍රියාවක් හෝ කාරණයක් සම්බන්ධයෙන් විරුද්ධ වීම හෝ පක්ෂ වීම පුද්ගල අයිතියකි. පොදු මහජනයාට අවහිරයක් ද, කරදරයක් ද, එසේ නොමැති නම් උසිගැන්වීමක් කරන්නේ ද, යන්න පිළිබඳ නිගමනය කිරීමට පෙර, ඒ පිළීබඳ පරීක්ෂණයක් හෝ සමීක්ෂණයක් කර තීරණය කළ යුතුය.


එසේ නොමැතිව පුද්ගලික අභිමතාර්ථ පරිදි අහඹු ලෙස සිතා සෑම ක්‍රියාවකටම නීතිය ඉස්සරහට දමා මිනිසුන්ගේ අදහස් හා මතවාද අවහිර කිරීම ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රියාවක් නොවේ. එය ප්‍රජාතන්ත්‍රවාදී පාලන තන්ත්‍රයකට සුදුසු නොවේ. ලෝකයේ ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යයන් ක්‍රියාකරන නිවරදි පිළිවෙත , මේ රටේ උගත් බුද්ධිමත් නිතිය සහ යුක්තිය පසිදලන ක්‍රියාවලියේ නිරතවන්නන්ට අවබෝධ වේවා!


මේ අදහස අප සමාජගත කිරීමට මූලික කාරණය වන්නේ ප්‍රධාන වශයෙන් සයිටම් ගැටළුවයි. මේ රටේ ජීවත්වන ඕනෑම තරාතිරමක පුද්ගලයෙකුම අර්බුදයක් බවට පත් වී ඇති මෙම සයිටම් ගැටළුව පිළිබඳ කාරණය හොඳින් දනී. එහෙත් රාජ්‍ය පාලකයෝ ක්‍රියා කරණුයේ වෙනත් පිළිවෙතකය.


ශිෂ්‍යයන් අධ්‍යාපනය කඩාකප්පල් කරගෙන පාරට බසින්නේ පාලකයෝ ඔවුන්ගේ හඬට කන් නොදෙන නිසාය. කිසිම ශිෂ්‍යයෙක් බන්ධනාගාරගත වී අපා දුක් විඳීමට කැමති නැත. එහෙත් මේ රටේ වයසින් මෝරා ගිය රාජ්‍ය පාලකයෝ අවබෝධ කරගත යුතු කරුණක් ඇත. සෑම අයෙකුටම තරුණ අවධියක් තිබේ. තරුණ අවධිය ආවේගශීලී වීීම, අසාධාරණයට එරෙහිව ක්‍රියාකිරීම, පුද්ගලයා තුළ නිතතින්ම ඇතිවන හැඟීමකි. එය අවබෝධ කර නොගෙන අසාධාරණ ලෙස අයිතිවාසිකම් අහිමි කිරීමට එරෙහිව ශිෂ්‍යයන්ගේ හඬ අඩපන කර තමන්ගේ දේශපාලන අරමුණු ඉටු කර ගැනීමට උත්සාහ කරන්නේ නම් ඒ කා වෙනුවෙන්ද?ශිෂ්‍යන්ට දේශපාලන අරමුණක් තිබේ. ඔවුන් ක්‍රියා කරණුයේ ඒ අනුවයි යැයි, තව කෙනෙකුට තර්ක කළ හැකිය. එහෙත් අසාධාරණ හෝ සාධාරණය කරා යන ගමනකදී පොදු අරමුණු වෙනුවෙන් ක්‍රියාකිරීමට සැවොම එක් විය යුතුයි. එය ඉටු වූ පසු තමන් කැමති දේශපාලනයට යොමු වීමේ වරදක් නැත.


ලහිරු වීරසේකර හෝ සයිටම් ගැටළුවට නායකත්වය දෙන සිසුන් ජීවිත කාලය පුරාම බන්ධනාගාර ගත කළත් ගැටළුව යටගැසිය නොහැකිය. හොර නින්දෙ සිටින පාලකයින් කවදා හෝ අවදි වන දවසක් එනු ඇත. එදින ඔවුන්ගේ බලය ගිළිහෙණු ඇත. ඒ තවත් ප්‍රශ්ණ රාශියක් ඇතිකරවමින්ය. මේ රටේ මුළු ජනගහණයෙන් 80% ජනතාව අතර සමස්ත ආර්ථිකයෙන් 20% බෙදී යයි. ඇතිනැති පරතරය වැඩිවෙමින් පවතී. එවැනි තත්වයකදී 70% කට වැඩි මේ රටේ සාමාන්‍ය ජනතාවගේ දරුවන්ට ශක්තියක් වී ඇත්තේ නිදහස් අධ්‍යාපනයයි. එයද අහිමි වී යන විට කල යුත්තේ කුමක් ද? ආණ්ඩුවට අධ්‍යාපනයෙන් මුදල් හම්බකිරීමේ අපේක්ෂවෙන් බැහැරවන ලෙස අප නොකියමු. නමුත් එය කල යුත්තේ රටේ නිදහස් අධ්‍යාපනයට බාධාවක් නොවන අයුරින්ය.