ඇමරිකාවේ විනාශය තුවක්කු සංස්කෘතියයි.


වර්තමානයේ ලෝක බලවතා වන ඇමරිකාව සෙසු ලෝකයට උපදෙස් ලබාදීමට නිතරම සැදීපැහැදී සිටි. එහෙත් තමන්ගේ රටට තුළ සෑම අවස්ථාවක දීම අනතුරක් තිබෙන බව ඔවුන්ට නොතේරේ. ලෝක ත්‍රස්තවාදය විවිධ ස්වරූප ගනී. එය අවස්ථානුකූලව වෙනස් වෙයි. අවි ආයුධ නිෂ්පාදනය සහ අලෙවිය ඇමරිකාව තුළ විවෘතව පවතී. මුදල් තිබේ නම් සෑම කෙනෙකුටම ආයුධ මිලදී ගැනීමේ හැකියාව ඇත. මේ නිසාම මිනිස් ජීවිතවල වටිනාකම දන්නේ නැති, උන්මන්තික මිනිසුන් ඒවා භාවිත කරමින් අනිත් මිනිසුන් මරා දමයි. එය කුඩා දරුවෙක් කරන සෙල්ලමක් වැනිය. ඇමරිකාව තුළ මේ තුවක්කු සංස්කෘතිය නිසා පසුගිය වකවානුව තුළ විනාශ වූ ජීවිත සංඛ්‍යව විශාලය.


පසුගිය දා ලාස්වේගස් හී සිදු වූ වෙඩි තැබීම දෙවනි වන්නේ සැප්තැම්බර් 11 ප්‍රහාරයට පමණක් බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි. මෙය අතිශය මිලේච්ච ප්‍රහාරයක් බව සඳහන් වෙයි. නිරායුධ අහිංසක මිනිසුන් නිදහසේ සතුටින් සිටින මෙහොතක සන්නද්ධ පුද්ගලයෙකු ඉවක් බවක් නොමැතිව වෙඩි තබා මිනිසුන් මැරීමට තරම් ක්ෂණිකව පැමිණි ආවේගය කුමක්ද? එය ප්‍රධාන වශයෙන් සොයා බැලිය යුතුය. උන්මන්තකයෙකු හෝ මානසික පීඩිතයෙකු, එසේ නොමැති නම් දරුණු ත්‍රස්තවාදියෙකුට එය කළ හැකිය.


මිනිස් ජීවිත 60 කට ආසන්න ප්‍රමාණයකට අකාලයේ ජීවිත අහිමි කිරීමත් තවත් පුද්ගලයින් 500කට අධික පිරිසකට තුවාල සිදු කිරීමත් පිටුපසින් ත්‍රස්තවාදයක් පවතින බව සැක කළ හැකිය. මේ ක්‍රියාව සිදු කළ පුද්ගලයා එම ප්‍රහාරයෙන්ම දිවිහානි කර ගැනීම නිසා තවමත් මෙහි සත්‍ය පසුබිම කුමක්ද යන්න සොයාගත නොහැකි වී ඇත. කෙසේ වුවත් මෙය ත්‍රස්ත ප්‍රහාරයකි. දැන්වත් ඇමරිකාව තුළ පවතින මේ තුවක්කු සංස්කෘතිය නැවැත්තීමට ඔවුන් කටයුතු නොකරන්නේ නම් ඔවුන්ගෙන් ලෝකයට ලැබෙන ආදර්ශ පළ රහිත වනු ඇත.